පෝලන්තයෙහි රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකර අසර්බයිජාන්හි පුද්ගලයන් අතරමං කළ ආයුර්වේද සමාගමක කළමනාකාර නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. වාද්දුව මොරොන්තුඩුව ප්රදේශයේ පදිංචි ගම්පහ ආයුර්වේද ඖෂධ සමාගමක කළමනාකරණ නිලධාරී තනතුරක් දරන 34 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කීය. පුද්ගලයන් අටදෙනෙකුට යුරෝපීය රටක් වන පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මෙරටදී රුපියල් හත්ලක්ෂ පනස්දහස බැගින් ලබාගෙන රුපියල් ලක්ෂ 15ක් වටිනා ඩොලර් රැගෙන යන ලෙස පවසා වරින්වර අසර්බයිජානයට රැගෙන ගොස් එරට නියෝජිතයාට එම ඩොලර් භාරදීමෙන් පසු අතරමං කර පලාගොස් ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය පවසයි.
මෙවැනි ආකාරයෙන් අසරණභාවයට පත් පුද්ගලයත් සිටී නම් පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට ජනතාවට විවෘත ආරාධනයක් කරන බවද පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.
අත්අඩංගුවට පත් සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පානදුර පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චමිල නිශ්ශංක මහතාගේ ප්රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක සුරංග, කීර්ති සහ කොස්තාපල්වරුන් පුෂ්පකුමාර යන මහත්වරු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(පානදුර සුමිත් පොතුපිටිය)
0 Comments