ranil-wicremasinghe-titanic

තමා ටයිටැනික් නෞකාව භාරගනු ලැබුවේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. රට දැන් බංකොලොත්භාවය ප්‍රකාශ කර ඇති බැවින්, පළමු කටයුත්ත විය යුත්තේ මෙම බංකොලොත් ලේබලය ගලවා දැමීමට ප්‍රමාණවත් පියවර ගැනීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ පෙරේදා (30 වැනිදා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි. ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.



"අද තේ කර්මාන්තය පිළිබඳ ඔබේ සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවට මම සවන් දුන්නා. ඔහු කනගාටුදායක කතාවක් ඉදිරිපත් කළා. මේ වනවිට අපේ රට මුහුණදී සිටින තත්ත්වය දෙස බැලීමේදී අපට එය අවබෝධ කරගත හැකියි. දැන් මගේ කනගාටුදායක කතාව ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මොකද මම ටයිටැනික් නෞකාව භාරගෙන තිබෙන්නේ අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔබට සිතා ගත හැකි මම කොතැනින්ද ආරම්භ කළ යුත්තේ කියා. හැම දෙයක්ම අගාධයට වැටිලයි තිබුණේ. අපි බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා. අපිට දැන් මොනවද කරන්න තිබෙන්නේ. පළමුව අනෙකුත් අපහසුතා තිබියදී ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර තිබේද යන්න පිළිබඳව අපි සහතික විය යුතුව තිබෙනවා.

අප විසින් ප්‍රකාශ කරන ලද මෙම බංකොලොත්භාවය සමගත් අපේ ආර්ථිකය නතරවීමක් සිදුව තිබෙනවා. එහිදී උද්ධමනය, බංකොලොත් භාවය මේ සෑම දෙයක්ම අපගේ ආර්ථිකයට සිදුව තිබෙනවා.

අපි දැන් බංකොලොත් බව ප්‍රකාශ කර ඇති බැවින් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මෙම බංකොලොත් ලේබලය ගලවා දැමීමට ප්‍රමාණවත් පියවර ගැනීමයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදු වෙනවා. සෑම රටක්ම, සෑම ආයතනයක්ම අපිට දන්වා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් යම් සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අපට දෙදාස් දහනවය වන තෙක් එවැනි සැලැස්මක් තිබුණා. නමුත් පසුව එය අවලංගු වුණා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා ආරම්භ කරන්න අපිට සිදු වුණා. අපිට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. මේ වසරේ අපේ ආර්ථික වර්ධනය වේගය ඍණ අටක් පමණ වෙනවා. පසුගිය වසරේ තිබුණෙත් ඍණ අගයක්, ලබන වසරේ එය ඍණ තුනක අගයක් ගනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා."