rugby-dulani-found

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වූ දකුණු කොරියාවේදී අතුරුදන් වූ බවට වාර්තා වූ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ සොයා ගත් බව රග්බි සම්මේලනය පවසයි.
ඇය අතුරුදන් බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු ඇය ගැන එරට ආරක්ෂක අංශ දැනගෙන සෙවීම් කරන බව දැනගෙන ඇති අතර පසුව ඇය ශ්‍රී ලංකා බලධාරීන් අමතා නැවත ලංකාවට එන්නට එකඟතාව පළ කර ඇත.



මෙම සංචාරය අතරතුරදී හොං කොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු අවසන් මහ තරගයෙන් පසු කණ්ඩායම ලැබූ පරාජයන් පිළිබඳවත්, තරග පරාජය වීම සඳහා කණ්ඩායමෙන් සිදුවූ අතපසුවීම් පිළිබඳවත් කරුණු දැක්වූවාය. කෙසේ වුවත් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිණීය දෙවරක්ම සිංහල බසින් නිවේදන නිකුත් කරමින් කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායම දුලානි සොයන බැවින් ක්‍රීඩාංගණයෙන් පිටත්ව යෑම සදහා වහාම කණ්ඩායමේ බස් රථය අසලට පැමිණෙන ලෙසය.

තරගාවලිය නිමා වී පැයකට පමණ පසුව පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක රැගත් බස් රථය ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටලය බලා ක්‍රීඩාංගණයෙන් පිටත්ව ගිය අතර පිරිමි කණ්ඩායමේ කළමනාකරු සහ කාන්තා කණ්ඩායමේ කළමනාකාරිණිය ක්‍රීඩාංගණයේ රැදෙමින් දුලානි සෙවීම සඳහා පොලිසියටත්, කොරියානු රග්බි නිලධාරින්ටත් සහාය දැක්වූහ.


පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඊයේ (14 වැනිදා) රාත්‍රී 11.30ට පමණ ශ්‍රී ලංකාව බලා ඉන්චෝන් ගුවන් තොටුපලින් පිටත්වූයේ නායිකාව නැතිවයි.
ඇය සොයාගත් බැවින් දැන් ලංකාවට ගෙන්වීමට හැකියාව ලැබී ඇත.
එම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඇය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.