sachini-galappaththi-peradeniya

රිය අනතුරකට ලක්ව බරපතළ තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවිය පෙරේදා (නොවැ. 8) රාත්‍රියේ මියගොස් ඇත.
පසුගිය 1 වන දින විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය ඉදිරිපිටදී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ සචිනි ගලප්පත්ති (23) නමැති සිසුවියකි.



ඇය තංගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා කීය.

මියගිය සිසුවිය සමග ගමන් ගනිමින් සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද අනතුරින් තුවාල ලැබූ අතර ඔවුන් මේ වනවිට සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

මෙම සිසුවියන් තිදෙනා අධ්‍යයන කටයුතු නිමාකාර හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය වෙත යමින් සිටියදී මෝටර් රථයේ ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබිණි.

අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවට පොලිසිය සැක කරයි.

මෝටර් රථය මාර්ගයේ අනෙක් පසට ධාවනය වී සිසුවියන් තිදෙනා ද යට කරගෙන ගොස් යතුරුපැදියක ගැටී නතර වී තිබුණු බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.