දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් සාරිය වෙනුවට ගවුම්, සාය හැට්ට, කලිසම්, කුර්තා ආදී සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසල්වලට පැමිණ ඇතැයි ඊයේ වාර්තා විය. එම ගුරුවරියන් වෙනත් ඇඳුම් ඇඳ පාසලට ගොස් ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ කර තිබිණි. වර්තමානයේ පවතින ආර්ථික උද්ධමනයත් සමඟ සාරිවල මිල ඉහළයාම හේතුවෙන්, මෙම පියවර ගත් බවත්, රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති නිසා තමන්ට ද එම අවසරය හිමි බවත් ඔවුන් සඳහන් කර ඇත.එසේ පැමිණි තමන් සිසු දරුවන් ආදරයෙන් වැළඳගත් බවද එම ගුරුවරියන් සමාජ මාධ්‍යවල සඳහන් කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ගුරුවරියන්ට ද සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් පාසල්වලට පැමිණීමට ඉඩ දෙන ලෙස ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මීට පෙර ඉල්ලීමක් ද කර තිබූ අතර එයට මහා සංඝරත්නය ඇතුළු පිරිස්වල විරෝධය එල්ල විය.අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ප්‍රකාශ කර තිබුණේ ගුරුවරියන්ගේ ඇඳුම වන සාරිය හා ඔසරිය වෙනස් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.ඉන්පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඒකරාශී වූ ගුරුවරියන් කණ්ඩායමක් වෘත්තීය ගරුත්වය රැකෙන ආකාරයේ වෙනත් ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට තීරණයක් ගෙන තිබූ අතර, ඔවුන් එලෙස භාවිත කළ හැකි ඇඳුම් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ගුරුවරියන් දැනුවත් කර තිබිණි.
ඒ අනුව, අඳින්නේ ගවුමක් හෝ සායක් නම්, එය දණහිසේ සිට පහළට අවම වශයෙන් අඟල් 4ක්වත් දිගු විය යුතු බවත්, කලිසමක් අඳින්නේ නම් ඒ සමඟ උකුල වැසෙන සේ කුර්තා ඇඳුමකින් සැරසිය යුතු බවත්, සියලු ඇඳුම් අත් සහිත ඒවා විය යුතු බවත් සඳහන් කර තිබිණි.ම
ේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර ඇති 5/2022 චක්‍රලේඛය අනුව සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් පැමිණීමේ අයිතිය ගුරුවරියන්ට ද හිමි බවයි.මෙය ගුරු සංගමයක බලපෑමෙන් සිදු වූවක් නොවන බවත්, ගුරුවරියන් ඔවුන් කැමැති, සංවරශීලී ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමේ වරදක් නැති බවත් ඔහු සඳහන් කළේය.
-ඩයනා උදයංගනී-
0 Comments