sess-tax-school

පාසල් ළමයින් සඳහා අවශ්‍ය වන පාසල් උපකරණ සෙස් බද්දෙන් ඉවත් කළ යුතු බවට පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියහ. ඇතැම් පාසල් උපකරණ මෙම සෙස් බද්ද හේතුවෙන් 300%න් ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පාසල් යන ළමයින් කිහිපදෙනෙකු සිටින පවුල් ඉතා අසරණ බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරු එහිදී පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මෙම සෙස් බද්ද පනවා තිබෙනුයේ මෙරට නිෂ්පාදනය කිරීමට හැකි පිටරටින් ආනයනය කරනු ලබන ආදේශන භාණ්ඩ සඳහා පමණක් බව ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල -



                                                         දැන් ජනතාවගෙන් බදු ගහනවා. පෙරේදා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැසට් එකක් ගහලා තිබුණා ආනයනය කරන භාණ්ඩ 630කට සෙස් බද්ද වැඩි කරලා. මේකෙදි පාසල් උපකරණ 300%න් වැඩි වෙලා. රුපියල් 10ට තිබ්බ පැන්සල රුපියල් 40යි. අද උදේ එක්කෙනෙක් කිව්වා සී.ආර්. පොතක් රුපියල් 400යි කියලා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය -

                                               අපි සෙස් බද්ද දාන්නේ මේ රටේ ආදේශන තිබෙන විදේශවලින් ගේන උපකරණ සඳහා පමණයි. පිටරටින් ගේන එකක මිල කියලා මේ සභාව බය කරන්න හදනවා. සෙස් බද්දක් දාන්නේ මේ රටේ නිෂ්පාදනය ආරක්‍ෂා කර ගන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ -

                                මුදල් රාජ්‍ය ඇමතිවරයා කියපු කාරණාව අසත්‍යයි. පාසල් උපකරණවල පිටරටින් ගේන ඒවට තමයි සෙස් බද්ද ගහලා තිබෙන්නේ. නමුත් පාසල් උපකරණවල පොත්වලට කඩදාසි සඳහා 75%ක් ආනයනය කරනවා. අනිත් උපකරණවලින් 50%ක් ආනයනය කරනවා. ඒ නිසා පාසල් උපකරණ සෙස් බද්දෙන් ඉවත් කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. නැතිනම් ජනවාරි මාසයේ අලුතින් පාසල් වාරය පටන් ගන්නකොට ගම්බද එක පවුලේ දරුවන් දෙතුන්දෙනා ඉන්න පවුල් අන්ත අසරණ වෙලා.



මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය -

                                              ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්, පිටරටින් ගේන ආදේශන සඳහා පමණයි සෙස් බද්ද පනවන්නේ. ඒ නිසා එතුමා කියන කාරණය සත්‍යයක් නෙවෙයි කියලා මම සඳහන් කරනවා.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල -

                                      මම කියන්නේ අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්න කියලා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර -

                                              මමත් එකඟයි. මේ දරුවන්ගේ අනාගතය රටෙත් අනාගතය. දරුවන්ගේ මේ භාණ්ඩ මිල වැඩි වෙලා තිබෙනවා. ඒක වෙනස් කරන්න ඕන.


(දිනේෂ් සමරකෝන්)