අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන් වැඩ තහනමට ලක් කරන ලදැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය නොතකා හැරීම පිළිබඳව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (16) කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය. එය පොලිස් පරිපාලනයේ දුර්වලතාව මත සිදු වූවක් බවත්, කිසිදු ආකාරයකින් අධිකරණයට අගෞරව කිරීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක් නොවන බවත් පොලිස්පතිවරයා පැවසුවේය.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව හා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ අකාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පොලිසිය දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය. පොලිස්පතිවරයා මෙම කරුණු දැක්වීම කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරේරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ඊයේ සළකා බැලිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා පිළිබඳ විමර්ශනයකින් පසුව තමන් අත් අඩංගුවට ගෙන තමන්ට ශානි අබේසේකර මහතාට එරෙහිව සාක්කි දීමට බලකළ බවත්, එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තමන් වැඩ තහනමට ලක් කළ බවත් එම තත්ත්වය තුළ තම මූලික අයිතිවාසිකම් කඩවූ බවත් සඳහන් කරමින් හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත. මෙම පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව පෙත්සම්කාර හිටපු පොලිස් පරීක්ෂකවරයා හිඟ වැටුප් සමග යළි සේවයේ පිහිටුවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
එහෙත් එම නියෝගය ක්‍රියාත්මක නොකරන ලදැයි සඳහන් කරමින් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
ඒ අතර මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට සිතාසිද නිකුත් කෙරිණි. එම සිතාසියට අනුව පොලිස්පතිවරයා අධිකරණය හමුවේ ඊයේ පෙනී සිටියේය. මෙම පෙත්සම අධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් එය අධිකරණය අපහසුතාවට හෝ අගෞරවයට පත් කිරීමට හිතාමතා සිදු කළ ක්‍රියාවක් නොවන බවය. එය පරිපාලනමය දුර්වලතාවක් හේතුවෙන් සිදුවූවක් බවද ඔහු සඳහන් කළේය.
පෙත්සම්කාර පොලිස් පරීක්ෂකවරයා සියලු හිඟ දීමනා සහිතව යළි සේවයේ පිහිටුවා ඇති බවත් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශයකින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය. මෙම පෙත්සම සම්බන්ධයෙන් පොලිසිය මූලික විරෝධතා හෝ ලිඛිත දේශන ගොනු කර නැහැ. අනෙක් අතට මෙම නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි බවටද ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම නඩුව සම්බන්ධයෙන් කිසිදු උනන්දුවකින් පොලිසිය කටයුතු කර නැහැ. මෙය සුළු කොට තැකිය නොහැකියි යැයි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා, ‘ස්වාමීනී මෙය බරපතළ කරුණක් ලෙස මම පිළිගන්නවා. ඒ අනුව යළිත් පොලිස්පතිවරයා වෙනුවෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිනවා’ යැයි පැවසුවේය. ඒ අනුව මෙම පෙත්සම දෙසැම්බර් 12 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටි අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාජ් කොරයා මහතා පෙනී සිටියේය.
විමුක්ති එස් රුද්‍රිගු
0 Comments