sl-cricket-fund

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතා බදු මුදලින් යැපෙනවා යැයි පැවසීම සාවද්‍ය ප්‍රකාශයක් බවත්, යම්කිසි පුද්ගලයෙකු ඒ ආකාරයේ ප්‍රකාශයක් සිදු කරන්නේ නම් එය හරිහැටි කරුණු නොදැන කරන ප්‍රකාශයක් බවත් ක්‍රීඩා අමාතයංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතා පැවසීය.ඒ මහතා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතා බන්දු මුදලින් නඩත්තුවන ආයතනයක් බවට මේ වනවිට බොහෝ දෙනාගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් කළ කරුණු විමසීමකදීය.

එසේම ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතාද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් වියදම් කරන මුදල් මහජන මුදල් ලෙස මාධ්‍යට අදහස් දක්වනු දැකගත හැකිවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් ලැබෙනුයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (අයි.සී.සී.) සහ පෞද්ගලික අනුග්‍රාහක සමාගවලිනි. එම මුදල් කිසිදු ආකාරයකින් මහජන බදු මුදල් සේ නොසැලකෙන බව කීර්තිනන්ද මහතාගේ අදහසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහා භාණ්ඩාගාරයෙන් හෝ රජයෙන් හෝ වෙනත් රජයට අනුබද්ධිත ආයතනයකින් මුදල් ලබාගන්නේ නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ වෙනත් රාජ්‍ය ආයතනයක කිසිම මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලැබෙන්නේ නැහැ.




ඒ අනුව ඔවුන් ජනතා බදු මුදලින් නඩත්තු වන ආයතනයක් සේ සැලකීම සාවද්‍යයි. අවම වශයෙන් පසුගිය වසර 10 ගතාමවත් කිසිදු ජනතා බදු මුදලක් ක්‍රිකට් ආයතනයට ලැබිලා නැහැ. එහෙම ප්‍රකාශ කිරීම කරුණු කාරණා නොදැන කරන ප්‍රකාශ ලෙස හඳුන්වන්න කැමතියි යනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශ හිටපු නීති උපදේශකවරයා වැඩිදුරටත් පැවසීය.මේ අතර ජනතා බදු මුදලෙන් නඩත්තු නොවන්නේනම් විගණකාධිපතිවරයා ඔවුන්ව විගණනය කරනුයේ කුමන පදනමකින්ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් මහතා, "ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩා සංගම් විගණකාධිපතිවරයා විගණනය කළ යුතුයි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 21 වැනි වගන්තියෙන් සහ සංශෝධිත රෙගුලාසිවලින් ඒ සඳහා බලය පවරා දී තිබෙනවා.නමුත් එහෙම බලය පැවරීමක් වුණා කියලා එය ජනතා බදු මුදල් හෝ රජයේ මුදල් ලෙස අර්ථ දැක්වීම වැරදියි. ජනතා බදු මුදල් හෝ රජයේ මුදල් ලෙස අර්ථ දැක්විය හැකිවනුයේ බදු මුදලින් යැපෙන ක්‍රීඩා සංගම් පමණයි" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.




කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඔවුන්ගේ අරමුදල් හෝ මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙනුයේ 'ශ්‍රී ලංකා'යන ජාතික සන්නාමයට බවත්, එහෙයින් එම මුදල හිමිකාරත්වය රජයට හෝ ආණ්ඩුවට පවතින බවත්, ආණ්ඩුව යනු මහජන ඡන්දයෙන් පත්වන කණ්ඩායමක් බවත්, එම නිසා එය මහජන මුදල් ලෙස අර්ථකථනය කළ හැකි බව තවත් මතයක් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රීඩා අමාතයංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතා, "සියලු ක්‍රීඩා සංගම් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ ස්ථාපිත සංගම්. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මුදල් ලබාදෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මිසක් රජයකට හෝ ආණ්ඩුවකට නෙමෙයි. මෙය අනෙකුත් සාමාජික රටවලටත් පොදු කාරණයක්. ජාතික සන්නාමය භාවිත කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ස්වාධීන ආයතනයක්. ඔවුන්ට අනන්‍ය ව්‍යවස්ථාවක් තිබෙනවා. යම් රජයක්, ආණ්ඩුවක් හෝ යම් දේශපාලන අතපෙවීමක් වෙනවා නම් අයි.සී.සී.ය මුදල් ලබාදෙන්නේ නැහැ,


ඒකයි අයි.සී.සී.ය අතුරු කමිටු පිළිගන්නෙත් නැත්තේ අනික අයි.සී.සී. මුදල් ලැබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුමට මිසක් මහා භාණ්ඩාගාරයට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුමකට නෙමෙයි. එම නිසා මෙය ජනතා බදු මුදල් ලෙස සැලකීම සාවද්‍යයි" යනුවෙන් පවසා සිටියේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා  පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කිසි ලෙසකින්වත් රජයේ අරමුදල් භාවිත කර නොමැති බවත්, රජයට සහ ආණ්ඩුවේ. කටයුතුවලට ශ්‍රී ලංකා ක්‍රිකට් පුණ්‍ය කටයුතු සඳහා මුදල් ලබාදී ඇති බවත්ය.එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් යනු පෞද්ගලික සමාගමක් සේ සැලකිය හැකි ස්වාධීන ආයතනයක් බවත්, ජනතා බදු මුදලින් තම ආයතනය කිසි ලෙසකින්වත් නඩත්තු නොවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

(පැතුම් ශ්‍රී විජේරත්න)