sports-chain

පිරමීඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා" නමැති ආයතනයේ සැකකාර ප්‍රධානීන් වංචා කරන ලද මුදල්වලින් ජාත්‍යන්තර ඩොලර් මිලදී ගැනීම මෙන්ම මෙරට ආයතනවල මුදල් ආයෝජනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත. මෙම සිද්ධියට අදාළ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා විසා ලබා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් රුපියල් බිලියන 1.44 ක මුදලක්  ඔවුන්ගේ බැංකු ගිණුම්වල තිබී සොයාගත්  බවත් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ හංස අබේරත්න මහතා දැනුම්දීම කර තිබේ.



මෙම සැකකරුවන් රුපියල් බිලියන පහළොවකට අධික මුදල් වංචාවෙන් මිලදී ගත් දේපළ සම්බන්ධ වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන බව මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත. මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 8 දෙනාගෙන් කිහිප දෙනකුම සුපිරි නිවාස සංකීර්ණයන් හි නිවාස මිලට ගෙන ඇති බවත් තවත් අය රුපියල් ලක්‍ෂ සියයකට අධික මුදල් වැය කරමින් නිවාස ඉදිකරගෙන ඇති බවත් අධිකරණයට දැනුම් දුන් රජයේ නීතිඥවරයා, සැකකරුවන් මිලදී ගත් සුපිරි වාහන එකොළහක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බව කීය.



මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත සිටි පළමුවන සැකකරුවන් අමල් කීර්ති බණ්ඩාර නමැත්තා ද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇප මත සිටියදී සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම සාධාරණ  නොවන බැවින් එම සැකකරුගේ ඇප අවලංගු කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එලෙස තීරණය කළේය.

නිමන්ති රණසිංහ