stalin-speaks

මේ දවස්වල පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ඔබ දිගින් දිගටම කතා කරනවා. කරන්නම දෙයක් නැති තැන ඇඳුමක් ඉස්සර කරගෙන නැවතත් ප්‍රශ්නයක් දාන්නද යන්නේ...?



මේ වන විට රාජ්‍ය සේවකයන්ට තමන්ට සුදුසු, පහසු ඇඳුමකින් සැරසිලා සේවයට එන්න අවසර ලැබෙන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. 2022-09-27 වැනිදා තමයි මේ චක්‍රලේඛය නිකුත් කළේ. ගුරුවරුන් අයිති වෙන්නෙත් රාජ්‍ය සේවකයන් කියන කොටසටම තමයි. ගුරුවරුන් ගැන කතා කළොත් දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ 77% කටත් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ගුරුවරියන්. ඉතින් සාරිය වෙනුවට පහසු ඇඳුමකින් සැරසිලා රාජකාරියට එන්න අවස්ථාව දෙන්න කියලා මේ ගුරුවරියන්ගෙනුත් ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ ගුරුවරුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඉදිරිපත් වීම අපගේ වගකීමක්. ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන චක්‍රලේඛයක් අනුව ගුරුවරියන්ටත් මේ අවස්ථාව දෙන්න කියලා අධ්‍යාපන ලේකම්ගෙන් අපි ඉල්ලීමක් කළා. එතැනදි කැමැති ගුරුවරියන්ට සාරිය, ඔසරිය අඳින්න කිසිම ප්‍රශ්නයක් නෑ. වෙනත් ඇඳුමකින් සැරසෙන්න කැමැති ගුරුවරියන්ට එය අවස්ථාවක් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලීම් කළේ.



ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණාද?

කමිටුවක් පත් කරලා සාකච්ඡා පවත්වලා ඒ කමිටුව හරහා අපේ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා කියලා ඔවුන් අපට දැනුම් දුන්නා.

ඔය යෝජනාවෙන් ගුරු වෘත්තිය හෑල්ලු වෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

පිටරටවල්වල බොහෝ ගුරුවරුන් සාරි, ඔසරි අඳින්නේ නෑ. ඉන්දියාවේ පවා ගුරුවරුන් ඔවුන්ට පහසු ඇඳුම්වලින් සැරසිලා ඉගැන්වීම් කටයුතු කරනවා. ලංකාවේ තමයි බහුතරයක් ගුරුවරුන් තවමත් සාරි, ඔසරි අඳින්නේ. සාරි, ඔසරි අඳින සංස්කෘතියක් තියෙන ආසියාතික රටවල ගුරුවරුන් පවා දැන් සාරි අඳින්නේ නෑ.

අපි මේ කරන්නේ සාරිය ඔසරිය ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. ඒ වගේම සාරි ඇන්දේ නෑ කියලා ගුරු වෘත්තිය හෑල්ලු වෙන්නේ නෑ. විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාරණාවක් තියෙනවා. සාරිය අඳින්න කැමැති අය සාරිය අඳියි. වෙනත් ඇඳුම් අඳින්න කැමැති අය ඒ සඳහා සංවරශීලී ගැළපෙන සුදුසු ඇඳුමක් අඳියි. එතැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.

ඊළඟ කාරණාව ගුරුවරයා කරන්න තමන්ගේ දැනුම සම්ප්‍රේෂණය කිරීමේ කාර්යභාරය. තමන් සතු දැනුම ශිෂ්‍යයන්ට ලබා දීම සඳහා ගුරුවරයාගේ ඇඳුම බාධාවක් වෙන්නේ නෑ. ගුරුවරයා දරුවන්ට හරියට උගන්වනවා නම් ඇඳුම කියන කාරණය වැදගත් වෙන්නේ නෑ. සමහර අවස්ථාවල ප්‍රාථමික පන්තිවල අධ්‍යාපන කටයුතු කිරීමේදී සාරියට වඩා වෙනත් ඇඳුමක් ඇඳීමේ වාසිත් තියෙනවා. කුඩා දරුවන් එක්ක දුවලා පැනලා කටයුතු කරන්න සාරිය ඇතැම් වෙලාවට බාධාවක්. ගුරුවරියන්ට පහසු ඇඳුමක් අඳින්න අවස්ථාව ලබාදීමෙන් එවැනි අපහසුතා පවා මගහැරෙනවා.



නමුත් කාලාන්තරයක් තිස්සේ පැවතගෙන එන සංස්කෘතිය විනාශ කරන්න හදනවා කියලා කෙනෙක් චෝදනා කරන්නත් පුළුවන්?

අපි මේ කියන්නේ අසංවරශීලී ඇඳුම් අඳින්න කියලා නෙමෙයි. ගුරුවරුන් කියන්නේ දරුවන් ගැන වගේම අධ්‍යාපන පද්ධතිය ගැනත් හොඳ දැනුමක් සහ අවබෝධයක් තියෙන පිරිසක්. ඔවුන්ට පහසු ඇඳුමක් අඳින්න අවස්ථාව ලබා දුන්නා කියලා එය අවස්ථාව ඔවුන් අවභාවිත කරයි කියලා මම හිතන්නේ නෑ. පාසලකට අඳින්න සුදුසු මොනවාද, නුසුදුසු මොනවාද කියලා ගුරුවන්ට තේරෙනවා. පුද්ගලික ජීවිතේදි තමන් කැමැති ඕනෑම විලාසිතාවක් කරන්න සියලුම පුද්ගලයන්ට අයිතියක් තියෙනවා. නමුත් අධ්‍යාපන පද්ධතියේදී සුදුසු ගැළපෙන විලාසිතාවන් තෝරා ගැනීමට ගුරුවරුන් පවා බුද්ධිමත් විය යුතුයි. එහෙම වුණොත් ගුරු වෘත්තිය හෑල්ලු වෙන්නෙත් නැහැ. වෙනත් ගැටලුවක් ඇති වෙන්නෙත් නෑ. කොහොම වුණත් ශරීරය ආවරණය වන සුදුසු ඇඳුම් කාණ්ඩයන් කිහිපයක්ම අපි මේ යෝජනාවලියත් සමග ඉදිරිපත් කළා.

ඇයි ගුරුවරියන් ගැන විතරක් කතා කරන්නේ? ගුරුවරුන්ට එවැනි සහනයක් දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ නැද්ද?

මේ ඉල්ලීම ඇවිත් තිබුණේ ගුරුවරියන්ගෙන්. සාරි ඇඳගෙන රාජකාරිවලට පැමිණීම සහ රාජකාරිවල නිරත වීම අපහසුයි කියලා බොහෝ කාන්තාවන් කියලා තිබුණා. පිරිමින්ගෙන් එවැනි ඉල්ලීමක්වත් යෝජනාවක්වත් ඉදිරිපත් වුණේ නැහැ.

සංවාදය - නිරෝෂා වාසල