thembili-mattegoda

තැඹිළි කපන මුවාවෙන් ත්‍රිරෝද රථයක යමින් වසා දමා ඇති නිවෙස්වලට ඇතුළු වී එහි දේපළ සොරාගැනීමට පුරුදුව සිටි පුද්ගලයකු සොරාගත් මිලකළ නොහැකි පෞරාණික කඩුවක් ඇතුළු භාණ්ඩ තොගයක් සහ හරොයින් ග්‍රෑම් හයක් සමඟ ඊයේ (10) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තැනැත්තකු බව පොලීසිය කියයි. මෙම පුද්ගලයා මත්තෙගොඩ නාමල් උයන ප්‍රදේශයට ඉකුත්වූ ත්‍රිරෝද රථයකින් පැමිණ "තැඹිලි කපනවා, ගස්වල අතු බානවා" යනුවෙන් කෑගසමින් ගොස්, ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ ප්‍රතිචාරයක් නොමැති වූ තැන, වසා දමා තිබූ ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවෙසකට ඇතුළු වී එහි තිබූ මිල කළ නොහැකි පෞරාණික කඩුවක්, විදේශීය මත්පැන් බෝතල් කිහිපයක් හා අත් ඔරලෝසුවක් සොරාගෙන පලාගොස් තිබුණි.මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමේධ විමල ගුණරත්න මහතා විසින් ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන භාවිතා කරමින් ත්‍රිරෝද රථයේ අංකය අනුව සිදු කළ වැටලීමකදී සැකකරු දීපංගොඩ අධිවේගී ගුවන් පාලම හරහා ත්‍රිරෝද රථයක යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් හයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තැඹිලි කපා අලෙවි කරන කොට්ටාව ප්‍රදේශයේ වෙළෙඳසලක තිබී සොයාගත් බවට සැකකෙරෙන පෞරාණික කඩුව සහ අත් ඔරලෝසුව පොලීසිය සොයාගෙන තිබුණි. සොරාගත් මත්පැන් බෝතලය එම වෙළෙඳසලෙහි මුදලාලි සමග පානය කොට පෞරාණික කඩුව සහ අත් ඔරලෝසුව එහි සගවා ගොස් තිබියදී පොලිසිය භාරයට ගත් බව පැවසේ.


(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)