thilini-bank

මොරටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි හතරක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නමැත්තියට පුද්ගලික බැංකු ගිණුම් හතරක සවිස්තර වාර්තා අධිකරණය වෙත ලබාදෙන ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම පෞද්ගලික බැංකු කළමනාකරුවන් වෙත ඊයේ (10) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය. ඩොලර් ලබාදෙන බව පවසමින් සැකකාර තිළිණි ප්‍රියමාලි යන අය මෙම පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් අදාළ මුදල ලබාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය. එම මුදල බැංකු ගත කළ බව ව්‍යාපාරිකයන් සඳහන් කරන බැවින් අදාළ බැංකුවලින් වාර්තාගත වීමට අවශ්‍ය බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග නිකුත් කරනු ලැබීය.

(නිමන්ති රණසිංහ)