මෙරට අධ්‍යාපන සාක්ෂරතාවය ඉහළ මට්ටමක පැවැතිය ද දේශපාලන සාක්ෂරතාවය පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත්, මුදල් වංචාවකට බන්ධනාගාරගතව සිටින තිලිණි පියුමාලි පවා නිදහස්වී පැමිණ මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ප්‍රතිඵලය සිතාගත හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසුවේය.
රටේ ජනප්‍රිය නිරූපිකාවක්, නළුවෙක්, නිළියක්, ගායකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් රටේ ජනතාව ඔවුන්ට ඉහළම මනාපය ලබාදෙන බවද, බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අයෙක් මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් අනෙක් සියලු අපේක්ෂකයන්ට වඩා වැඩි මනාප ලබා ගන්නා බවද සභාපතිවරයා කීවේය. යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහනුවරදී පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවසීය.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් මාරු කිරීමේ බලය රජයකට නොමැති බවත්, ජනාධිපතිවරයා කොමිසම පත් කළත් කොමිසම ඉවත් කිරීමට ඔහුට බලයක් නොමැති බැවින් ඊට බහුතර කැමැත්ත අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.
කොමිසමේ ව්‍යවස්ථාපිත වගකීම ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වුවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශේෂ පනතකින් මැතිවරණය කල් දැමුවහොත් කොමිසමට කරන්න දෙයක් නොමැති බවත් හෙතෙම කීවේය.
කමල් සුරවීර - මහනුවර
0 Comments