three-wheel-qr-code-change

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමේ පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලක්ෂ හතරක් ලියාපදිංචි කිරීම නොවැ 1 වැනිදා සිට ආරම්භ විය.

ඒ අනුව 1 වැනිදා පමණක් ත්‍රිරෝද රථ 1300ක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි කළ බව එම අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න පැවසුවේය.



ඒ අනුව www.wptaxi.lk යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි විය හැකිය. ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා මාස තුනක කාලයක් ලබා දී ඇති අතර සතියෙන් සතිය මෙම ලියාපදිංචිය සම්පූර්ණ කරන ත්‍රිරෝද රථ පිළිබඳ තොරතුරු බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් බලශක්ති අමාත්‍යාංශයට යවනු ලැබේ.

එම ලියාපදිංචියෙන් අනතුරුව ලබන 6 වැනිදා සිට බස්නාහිර පළාතේ සියලුම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා දැනට සතියකට ලබාදෙන ලීටර 5ක ඉන්ධන කෝටාව ලීටර් 10 දක්වා වැඩි කිරීමට නියමිතය.



දිවයිනේ අනෙකුත් පළාත්වලද මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය මේ මස 6 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදුකෙරෙන අතර, ඉන්පසු එම ත්‍රිරෝද රථවලටද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර ඇත.