wasantha-handapangoda-speaks

ඔසරිය හා සාරිය වෙනුවට වෙනත් සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර දෙන්නැයි ගුරු සංගම් කිහිප‍යක් විසින් රජයට පසුගියදා ඉල්ලීමක් කරන ලද නමුත් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමෙහි පසුගිය දෙදිනේදී පාසල් කිහිපයක ගුරුවරියෝ පිරිසක් වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල්වලට පැමිණ සිටියහ. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඒ ගැන මෙසේ අදහස් දක්වා තිබේ.

මේ වෙද්දි ඇතැම් ගුරුවරියන් සාරි ඔසරි පැත්තකට දාලා වෙනත් ඇඳුම්වලින් සැරසිලා පාසල් එන්න පටන් අරන් නේද?

ගුරු වෘත්තියේදී ගුරුවරියන්ට වඩාත් උචිත ඇඳුම සාරිය මිස විලාසිතා පිරුණු සැහැල්ලු යැයි කියලා පෙන්වන වෙනත් ඇඳුම් නෙමෙයි. සැහැල්ලු ඇඳුමක් කිව්වාට ඒ ඇඳුම් මොන තරම් සංකීර්ණද කියලා පහුගිය දවස් දෙක තුනේ අපි දැක්කා. තැන් තැන්වලින් කපලා, පලලා, හැඩවැඩ දාලා වෛවර්ණ විදිහට මහපු ඇඳුම් ගුරුවරුන් පිරිසක් පාසල්වලට ඇඳගෙන ඇවිත් හිටියා. ඇත්තටම් ඒ ඇඳුම්වලින් සැරසිලා ගුරුවරියන් අරගෙන තිබුණු ඡායාරූප සමාජ මාධ්‍යවලට එකතු කරලත් තිබුණා. ඒවාට ඇවිත් තියෙන කමෙන්ට් දකිද්දි ඇත්තටම ගුරුවරියක් හැටියට අපේ රටේ ගුරු වෘත්තිය හෑල්ලු වෙන විදිහ ගැන මට තියෙන්නේ වේදනාවක්.



මෙහෙම ගියොත් පාසල් විලාසිතාගාර බවට පත්වෙලා මෝස්තර නිරූපිකාවන්ගේ තත්ත්වයට ගුරුවරියන් පත්වෙනවා. ගුරු වෘත්තිය කියන්නේ සියලු දෙනාටම ආදර්ශයක් සපයන උතුම් වෘත්තියක්. ඔවුන්ට දරුවන් සමග කටයුතු කරන්න වෙනවා. එහිදී තමන්ගේ වගේම අන් අයගේ ගෞරවයත් ගුරුවරයා ආරක්ෂා කළ යුතුයි. අතීතයේ සිටම ගුරුවරයා ගුරු වෘත්තියේ ගෞරවය රැකගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම ගුරුවරුන් අනෙක් අයට නිරන්තරයෙන් ආදර්ශයක් වෙනවා. 2010න් පස්සේ ආව සමහර පුද්ගලයන්ගේ මනස විකෘති වෙලා තියෙන්නේ. පාසල පාසලක් විදියටම තිබිය යුතුයි. පාසල් කිසිම අවස්ථාවක විලාසිතාගාරයක් නොවිය යුතුයි.

මේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක ගුරුවරියන්ට සාරි මිලදී ගැනීම අධික වියදමක් කියන එක සාධාරණ හේතුවක් නෙමෙයිද සාරියෙන් ඉවත්වෙන්න...

කෙනෙක්ට කුමන හෝ අදහසක් ක්‍රියාත්මක කරන්න වුවමනාව තියෙනවා නම් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න මොන හේතුවක් හරි ඉදිරිපත් කරනවා. ගුරුවරියන්ගේ සාරි ප්‍රශ්නයට ආර්ථික දුෂ්කරතා සම්බන්ධ කර ගැනීමත් එවැනි උපායක්. ඊයේ පෙරේදා දවස් දෙකේ සමහර ගුරුවරියන් ඇන්ද ඇඳුම් දැක්කාම ආර්ථික දුෂ්කරතා තියෙනවා කියලා පෙනුණද?

සාරි මිල අධික නිසා ඒ සඳහා විධායක ශ්‍රේණියේ නිලධාරිනියන්ට ලබා දෙන ආකාරයෙන් 15% වට්ටමක් හෝ සහනයක් ගුරුවරියන්ටත් දෙන්න කියලා 2014 අයවැයට මම යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව අයවැයට ඇතුළත් කරලා තිබුණත් ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙවර අයවැයටත් මම ඒ යෝජනාව ඇතුළත් කරන්න කිව්වා. ඒවා ඇතුළත් කළාද නැද්ද කියලා මම දන්නේ නෑ. නමුත් අගමැතිතුමා සමග කළ සාකච්ඡාවේදීත් මම මේ සම්බන්ධයෙන් මතක් කළා. ඒ වගේ ප්‍රායෝගික විසඳුමක් යෝජනා නොකර ‍මේ රටේ ප්‍රශ්නයක් ඉදිරියට දාලා ඇඳුම මාරු කරනවා කියන්නේ මූණ තියෙද්දී නහය කපා ගන්නවා වගේ වැඩක්. මේ එක්තරා අන්තගාමී ගුරු සංගම් කිහිපයක් එකතු වෙලා වපුරන්න උත්සාහ කරන විෂබීජයක ප්‍රතිඵලයක්.

ඔබ ඔය පහර ගහන්නේ ලංකා ගුරු සංගමයට සහ ජෝසප් ස්ටාලින්ටද?

මේ ක්‍රියාත්මක වෙන්න ජෝසප් ස්ටාලින්ගේ ටිකිරි මොළේට එන අදහස් නෙමෙයි. ජෝසප් ස්ටාලින් පිටුපස ඉන්න බටහිර බලවේග එන්.ජී.ඕ. සංවිධාන තමයි මේවට අනුබල දෙන්නේ. ජෝසප් ස්ටාලින් කියන්නේ අධ්‍යාපන ඝාතකයෙක් කියලා මම මීට පෙරත් ප්‍රසිද්ධියේම කියලා තියෙනවා. ජෝසප්ලාගේ මේ අදහස අද ඊයේ ඇතිවුණු දෙයක් නෙමෙයි. මීට අවුරුදු දෙක තුනකට කලින් ඔය වගේ දේවල් කරන්න ඔවුන් උත්සාහ කළා. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවට එන්.ජී.ඕ. සංවිධානවලින් ඔය කට්ටියට කීයක් දුන්නාද දන්නේ නෑ.

මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාව ගලවන්න ජෝසප් යනවාද? මෙහෙම ගිහින් හාමුදුරුවරුන්ගේ සිවුරත් ගලවයිනේ. පොලිසියේ, හමුදාවේ අයටත් ඒ ඇඳුම අපහසුයි. ඒත් ඔවුන් සැහැල්ලු ඇඳුම් ඉල්ලනවාද? එහෙම ඉල්ලුවොත් මොනවා වෙයිද? ඇයි මේ සිංහල ගුරුවරියන්ගේ විතරක් සාරිය ගලවන්න හදන්නේ? ඇත්තටම මේ හදන්නේ ගුරුවරුන්ට සැහැල්ලු ඇඳුම් අන්දන්න නෙමෙයි. සිංහල බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ගොනාට අන්දන්න මේ පිරිස් උත්සාහ කරනවා.



‘සාරියේ සාපයෙන් ගැලවෙමු’ වගේ සටන් පාඨත් දැන් නිර්මාණය වෙලා. ගුරුවරියන් පන්දාහකට ආසන්න ප්‍රමාණයක් සාරිය වෙනුවට වෙනත් ඇඳුමක් ඇඳගෙන පාසලට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි ආරංචිය....?

ඔය විදිහට කියන පිරිස් මේ වෘත්තියෙන් ඉවත් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. කිසිම ගුණයක් නැති විනයක් සහ හැදියාවක් නැති ගුරුවරියන් කිහිප දෙනකුත් අපි අතරම ඉන්නවා. මේ රට ඩොලර්වලට පාවලා දෙන කුහකයෝ එදත් හිටියා, අදත් ඉන්නවා. ගුරුවරු කියන්නේ අනාගත පරපුරට සංස්කෘතිය පවරන පිරිසක්. ගුරුවරුත් ගුරු ගෞරවය පැත්තකින් තියලා එක එක නාඩගම් නටද්දි අපේ සංස්කෘතිය සදාචාරය ආරක්ෂා වෙනවාද? ඇතැම් විශ්‍රාම ගිය ගුරුවරුන් ගෙදරට පවා සාරිය ඔසරිය අඳිනවා. ඔවුන් දරු මුනුබුරන් බලාගෙන ගෙදර වැඩත් කරගෙන ජීවත් වෙනවා. සාරිය අපහසුයි කියලා කියනවා නම් ඒ මිනිසුන්ට ඔය කියන අපහසුතාව දැනෙන්නේ නැද්ද?

අද ඉන්න සමහර ගුරුවරු ගුරු වෘත්තියට සුදුසුද කියන ප්‍රශ්නය තියෙනවා. විශ්වවිද්‍යාලයෙන් උපාධියක් අරගෙන එන හැම දෙනෙක්ම ගුරු වෘත්තියට සුදුසු නෑ. ඒ හැම දෙනෙක්ම ගුරුවරු කළ යුතුත් නැහැ. ගුරු වෘත්තියට බඳවා ගනිද්දී පූර්ව පරීක්ෂණ පැවැත්විය යුතුයි. පවුල් පරිසරය පිළිබඳ පවා සැලකිලිමත් විය යුතුයි. ග්‍රාමසේවක පොලිස් වාර්තා ආදි සියල්ල අරගෙන ගුරුවරුන් බඳවා ගැනීම් කළ යුතුයි. එහෙම නැත්නම් සමහර ගුරුවරුන් හින්දා මේ රටේ දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි. මම මේ කියන්නේ සමස්ත ගුරු පරපුර ගැනම නෙමෙයි. තවමත් සාරි ඔසරි ඇඳගෙන පාසලට එන්න කැමැති ගුරුවරියන් බොහෝ දෙනෙක් ඉන්නවා.

ඒ සම්බන්ධයෙන් බොහෝ ගුරුවරුන් මා සමග පුද්ගලිකවත් කතා කළා. ජෝසප් කියන කියන විදිහට නටන්න අකැමැති ගුරුවරුන් තමයි බහුතරයක් ඉන්නේ. ඒ අතර තැනින් තැන විනයක් නැති ගුණයක් නැති කිහිප දෙනෙකුත් ඉන්නවා.

ලෝකයේ බොහෝ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමයේ දියුණුව මනින්නේ ගුරුවරයාගේ ඇඳුමෙන් නෙමෙයි. මේ සාරි කතාවක් පටලාගෙන ගෙන එන තර්ක යල් පැන ගිහින් කියලා හිතෙන්නේ නැද්ද?

ඉතිහාසයේදී අපේ රටට තිබුණේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයක්. බෞද්ධාගම ගැන පැහැදුණු හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා ලංකාවට ඇවිත් බෞද්ධ විද්‍යාල ආරම්භ කළා. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ තියෙන න්‍යායන් ටික එතුමා ඉගෙන ගත්තා. ඒ න්‍යායන් ඇමරිකාවට අරගෙන ගිහින් රෝපණය කළා. වෙනත් රටවල අධ්‍යාපන ක්‍රමයට අපේ රටේ තිබුණු බෞද්ධ අධ්‍යාපනයේ ඇතැම් මූලිකාංගයන් සහ සාරයන් එකතු වුණා. ඒත් අපේ රටේ අධ්‍යාපනය ක්‍රම ක්‍රමයෙන් පිරිහුණා. දැන් මේ ගුරුවරුන් පිරිසක් නටන නාඩගම නිසා අධ්‍යාපන ක්‍රමය භෞතික වශයෙනුත් පිරිහෙන්න පටන් ගන්නවා.

එළිසබත් රැජින ගවුම් ඇන්දට සිරිමාවෝ මැතිනිය ගවුම් ඇන්දොත් මොනවාද හිතෙන්නේ. ජෝ බයිඩ්න් යුරෝපීය ඇඳුම් ඇන්ඳට මහින්ද රාජපක්ෂට ඒ ඇඳුම ඇන්දුවොත් මොකද හිතෙන්නේ. ශ්‍රී ලාංකිකයන්ට වෙනම අනන්‍යතාවක් තියෙනවා. ගුරුවර ගුරුවරියන්ටත් ඇඳුමේ සිටම අනන්‍යතාවක් තියෙනවා. අපි ඒ අනන්‍යතාවන්ට ගරු කරමින් සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි. එහෙම බැරි අය ඉන්නව නම් ගුරු වෘත්තියට අගෞරව කරන්නේ නැතුව ඉවත් වෙලා යනවා නම් හොඳයි. දැන් මේ ඉන්න සමහර ගුරුවරුන්ට දරුවන් භාර දෙන්නත් බයයි. පහුගිය දවස්වල සමහර ගුරුවරුන් එක දිගට දරුවන් අපචාරය කරලා. ළමයෙක් අරන් හැට වතාවක් හෝටලයකට ගිය ගුරුවරියක් පවා හිටියා. එහෙම අය ඉන්න රටක සාරි නැතුව වෙන ඇඳුම් ඇඳගෙන ඇවිත් කොහොම නටයිද?



මේ සඳහා අධ්‍යාපන ඇමැතිතුමා සහ විදුහල්පතිවරුන් දැඩි තීරණයක් ගත යුතුව තියෙනවා. විනයානුකූලවමයි මේ ප්‍රශ්නය විසඳාගත යුතුව තියෙන්නේ.

රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමකින් සැරසිලා රාජකාරි සඳහා පැමිණීමට ඉඩ ලැබෙන බවට සඳහන් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයකුත් නිකුත් වෙලා තියන වටපිටාවක, ගුරුවරියන්ට පමණක් ඒ අවස්ථාව අහිමිකිරීම අසාධාරණ නැද්ද?

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය අනුව රාජ්‍ය සේවිකාවන්ට සැහැල්ලු ඇඳුමකින් සැරසිලා රාජකාරි සඳහා එන්න කියන්න හේතුවක් තියෙන නිසා වෙන්න පුළුවන්. සමහරු ගෙදරින් පිටත් වෙන්නේ පාන්දර හතරට. ගෙදර සියලුම වැඩකටයුතු ඉවර කරලා තමයි ඔවුන් රාජකාරියට එන්නේ. සමහර වෙලාවට පැය ගණන් පාරේ බස් එකේ. කාර්යාලවලට ඇවිල්ලත් හවස් වෙනකම් වැඩ. ඒ වගේ කෙනෙක්ට සැහැල්ලු ඇඳුමක් අඳින්න ඉඩ දුන්නා කියලා වරදක් වෙන්නේ නෑ. ඒත් ගුරුවරුන්ටත් ඒ අයිතියම ලැබිය යුතුයි කියලා කොන්දේසියකුත් නෑ.

දැන් පාසලට එන දෙමව්පියනුත් සැහැල්ලු ඇඳුමෙන් එන්න ඉඩ ඉල්ලුවොත් මොකද කරන්නේ.? ඊට පස්සේ කැමැති ඇඳුම් ඇඳුගෙන එන්න දෙන්න කියලා ළමයිනුත් කියයි අධ්‍යයන අනධ්‍යයන ශිෂ්‍ය කියලා වෙනසක් නැති වෙයි.


•සංවාදය - නිරෝෂා වාසල