wasantha-mudalige-court

දැනට රැඳවුම් බාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසත්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මහතා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ඒ මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි. මෙම පෙත්සම විජිත් මලල්ගොඩ සහ එස්. තුරේරාජා මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අන්තර් භික්ෂු ශිෂ්‍ය බල මණ්ඩලයේ ගලේවෙල සිරිධම්ම හිමි සහ හසාන් ජීන් ගුණතිලක මහතා මෙම පෙත්සම් ගොනුකර ඇත. පසුගිය අගෝස්තු 17 වැනිදා තමන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොකර රැඳවුම් බාරයේ තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙත්සම්කරුවන් ගොනුකළ පෙත්සමේ සඳහන් වේ.



අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ තබා ගැනීම නීතිමය ක්‍රියා පටිපාටියට සම්පූර්ණයෙන් පරිබාහිර බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා එය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. පුද්ගලයකු රැඳවුම් නියෝග බාරයට පත් කිරිම ඉතා පරෙස්සම්සහගතව නීතියට අනුකූලව සිදු කළ යුතු බවත් මෙහිදී ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව එය සිදුකර ඇති බවත් විනිසුරු මලල්ගොඩ මහතා කියා සිටියේය. මේ අවස්ථාවේදී අධිකරණය ඇමැතූ විනිසුරු එස්. තුරාජා මහතා කියා සිටියේ පුද්ගලයන් රැඳවුම් බාරයේ තබා ගන්නා විට ඒ සෑම පියවරක්ම නීතිපතිවරයා දැඩි අධීක්ෂණයට භාජන කළ යුතු බවයි.

විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කියා සිටියේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම යටි අරමුණින් කළ ක්‍රියාවක් බවත් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම එහි මූලික අරමුණ බවත්ය. මෙම පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ පෙත්සම්කරු රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීම සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.  නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ අදාළ විධිවිධාන අනුව පෙත්සම්කරුවන් රැඳවුම් බාරයේ රඳවා තබා ගෙන ඇති බවයි. මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කියා සිටියේ”

අපි පුද්ගලයන්ගේ නිදහසට ගරු කරන්න අවශ්‍යයි. මේ ආකාරයට අහිංසක පුද්ගලයන්ගේ නිදහස අවහිර කරන්න ඉඩ දෙන්න බැහැ. මේ ආකාරයට පුද්ගලයන් රැඳවුම් බාරයේ තබා ගැනීම වැරැදි සහගතයි. එය ව්‍යවස්ථාවට පටහැනියි. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි.

පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා විට ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු විමර්ශනය කර අවසන් කර එය සිදු කළ යුතුයි. නැතිව කිසිදු හේතුවක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ නීති විරෝධීව රඳවා තබාගෙන පසුව තොරතුරු විමර්ශනය කිරීම වැරැදියි" යනුවෙනි.

ඉන් අනතුරුව වසන්ත මුදලිගේ මහතාගේ මූලික අයිතිවාසිකම්  පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.ඒ අනුව වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කළේය. ඉතිරි පෙත්සම්කරුවන් දෙදෙනාගේ පෙත්සම් සංශෝධනය කිරීම සඳහා අවසර ලබා දෙමින් පසුවට කල් තැබිණි. ඒ අනුව මෙම පෙත්සම ජනවාරි 31 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කෙරිණි. වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. ගමගේ යන මහත්වරුන් වග උත්තරකරුවන් වශයෙන් නම් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කළේය.


 රංජන් කටුගම්පොළ