wasantha-mudalige-court

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පිටස්තර කිසිවකුටත් නොපෙනෙන අන්දමට, සම්පූර්ණයෙන්ම ආවරණය කර දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා හමුවට ඊයේ (14) ඉදිරිපත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයකට අනුව ඔහු මෙලෙස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

වසන්ත මුදලිගේ තවත් නඩු කිහිපයක් සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් දැනුම් දුන් අවස්ථාවේදී ඔහු හඳුනාගැනීමේ  පෙරෙට්ටු සදහා ඉදිරිපත් කිරිමට නියමිත  නඩු මොනවාදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය. එහිදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරීහු ඒ සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොමැති බව අධිකරණයට  දැනුම් දුන්හ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 10 වැනිදා දුන් නියෝගයට වසන්ත මුදලිගේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණය රැගෙන එනු ලැබීය.



පිටස්තර කිසිවකුටත් හඳුනාගත නොහැකි වන අන්දමට සම්පූර්ණයෙන්ම ආවරණය කර වසන්ත මුදලිගේ අධිකරණයට කැඳවාගෙන එනු ලැබූ අතර, ඒ අවස්ථාවේදී අධිකරණය තුළ හා අධිකරණ භූමියේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙන අයුරු දැකගත හැකි විය. පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයා කරුණු ඉදිරිපත් කරමින් වසන්ත මුදලින්ට විරුද්ධව තවත් නඩු කිහිපයක් ඇතැයි පැවසීය. එම නඩු සඳහා ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවලට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, උපපොලිස් පරික්ෂකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා එම නඩු මොනවාදැයි ප්‍රශ්න කළේය. ත්‍රස්ත විමර්ශන නිලධාරින් එම කරුණු අධිකරණයට වාර්තා කළ යුතු බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා ඒ බව මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කළේය. මේ අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇමතූ මහේස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවලට ඉදිරිපත් කිරිමට නියමිත නඩු මොනවාදැයි ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයා ඒ සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නැතැයි පැවැසීය. ඒ අවස්ථාවේදී වසන්ත මුදලින්ගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා ඇතුළු නීතිඥවරු  අධිකරණය අමතමින් වෙනත් වුවමනාවක් වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණය නොමග යවමින් කටයුතු කරන බව සඳහන් කළේය.



දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය හා එම විමර්ශනවලදී ලබාගත් සාක්කිවල සම්පිණ්ඩන වාර්තාවක් ලබන 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර අවස්ථාවක නියෝගයක් දී ඇති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. ඒ අනුව විමර්ශනවල ප්‍රගතිය හා සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් ලබන 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල එදින යළි කැඳවීමටද නියම කළේය.අධිකරණ කටයුතු අවසන්වීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වසන්ත මුදලිගේ මහතා යළි රැඳවුම්  බාරයට ගෙන රැගෙන යනු ලැබූ අයුරු දක්නට ලැබිණි.

ආරියදාස කොඩිතුවක්කු