welikada-16-years-prison-man
මහාධිකරණයෙන් ඇප ලැබුණද ඇප ගෙවා ගත නොහැකිව වසර 16ක් තිස්සේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවකු පිළිබඳව වාර්තා වේ.


කොළඹ 13, බ්ලූමැන්ඩල් පාරේ පදිංචි ජේම්ස් ​ලෝරන්ස් ඇන්ටනි රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 2004 සැප්තැම්බර් 9 දින සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගෙන B443/05/2004 යටතේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී රිමාන්ඩ් භාරයට පත්වීමෙන් පසු අයැදුම්පත් අංක HCCA/726/2007 මගින් ඇප අයැදුම් කළ ලෝරන්ස් ඇන්ටනිට 2007 මාර්තු 7 දා මහාධිකරණයෙන් ඇප ලබාදී ඇත.

මෙහිදී ඇප කොන්දේසි වූ රුපියල් පනස්දහසක මුදල් ඇපය ඔහුට ගෙවීමට නොහැකිව ඇත.

ඇප ලැබූවත් මේ වනවිටත් වසර දහසයක්ම රිමාන්ඩ් භාරයේ සිටින්නට මොහුට සිදුවී ඇත.

මෙම නඩුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මහාධිකරණය වෙත විභාග කිරීම සඳහා යොමු කිරීමට නීති නිලධාරීන් අතපසු කිරීම නිසා මේ වනතුරුත් නඩුවක් ඇසීමෙන් තොරව මොහුට සිරගතව සිටීමට සිදුවී තිබේ.



තමාට මහාධිකරණයේ ඇප කොන්දේසි සපුරාලීමට හැකියාවක් නොවූ බවත්, ලිහිල් ඇපයක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා ලෝරන්ස් ඇන්ටනි නමැති අය මහාධිකරණය වෙත යළිත් ඇප අයැදුම් පත්‍රයක් මෙම වසරේ පෙබරවාරි මස දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබාදී ඇත.

නීතිපතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා මෙහිදී වගඋත්තරකරුවන් කරමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ලෝරන්ස් ඇන්ටනි පෙත්සම යොමුකර ඇත.

(තිස්ස රවීන්ද්‍ර පෙරේරා)