අවුරුදු 15 - 24ත් අතර වයසේ එච්.අයි.වී ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බැවින් පාසල් සිසු දරුවන් ඇතුළු තරුණ පිරිස දැනුවත් විය යුතු බව ලිංගාශ්‍රිත රෝග අංශය සදහන් කරයි. 2017 වර්ෂයේ සිට ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර කෝවිඩ් වසංගතය හේතුවෙන් 2019, 2020 වර්ෂයන්හි පරික්ෂා කිරීම් අඩුවීම මත එච්.අයි.වී ආසාදිතයන්ගේ අඩු බවක් පෙන්නුම් කළද 2021 වර්ෂයේදී සිදු කළ පරීක්ෂාවන්ට අනුව දිවයිනෙත් නව ආසාදිතයන් 410දෙනෙකු හඳුනා ගැනීමට හැකිවූ බවත් මින් සියයට පනහක් බස්නාහිර පළාතෙන් වන බවත් ගම්පහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මංජුලා රාප්පක්ෂ මහත්මිය පැවසුවාය.
එච්.අයි.වී ආසාදනය සඳහා අවදානම් කණ්ඩායම් ලෙස පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන පිරිමි, කාන්තා ලිංගික ශ්‍රමිකයන්, මත්ද්‍රව්‍ය එන්නත් කරන්නන්, වෙරළ ආශ්රිත සේවා සපයන්නන් සහ බන්ධනාගාරගත වූවන් හඳුනාගෙන ඇති අතර වර්තමානයේ තරුණ පරපුර අතර බහුලව දක්නට ලැබෙන අවදානම් ලිංගික චර්යාවන් එච්.අයි.වී ආසාදිත තත්වයන් ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙනී ගොස් ඇති බැවින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම තරුණ පිරිස දැනුවත් විය යුතු බවද වෛද්‍යවරිය පෙන්වා දෙනු ලැබුවාය. ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, ගම්පහ, වතුපිටිවල සහ මීගමුව යන රෝහල්වල ඇති ලිංගාශ්‍රිත රෝග සායනවල එච්.අයි.වී පිළිබඳ පරීක්ෂා කිරීමේ පහසුකම් ඇති බවත් සායන වෙත පැමිණ අදාළ පරීක්ෂණ සදහා යොමුව අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් එච්.අයි.වී තත්ත්වය හොඳින් පාලනය කරගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය මංජුලා රාප්පක්ෂ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
(ගම්පහ - නිලකරත්න දිසානායක)
0 Comments