wijedasa-rajapaksa

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතරක් පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට වෙන දෙයක් නොමැති බවත් අල්ලස් කොමිසම වැඩ කරන් මෙහෙම නම් මෙවැනි කොමිසමකින් රටට ඇති ඵලය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්‍ෂ මහතා පාරිලිමේන්තුවේ දී ඊයේ (15) පැවසීය. ඒ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමාගෙන් පැය හතර පහ ප්‍රශ්න කිරීම් නම් හොඳට කළ බවද ඔහු සඳහන් කළේය. රාජපක්‍ෂ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදීය. ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේද ප්‍රකාශ කළේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජයේ තිදෙනකු සහ මන්ත්‍රීවරුන් පත් කළ යුතුව තිබෙනවා. දැන් සති දෙකක් ගිහිල්ලා, මම දැක්කා ඒ සඳහා පාර්ලිමේන්තුව මගින් අයදුම්පත් කැඳවීම කරලා තියෙනවා. අපි විසිඑක්වැනි සංශෝධනයෙන් එහෙම ප්‍රතිපාදනයක් ලබාදී නැහැ.

සිවිල් සමාජයේ තිදෙනකු තෝරා පත්කර ගැනීමට බලය දී තිබෙන්නේ කතානායකතුමා ප්‍රමුඛ අග්‍රාමාත්‍යතුමාටත් විපක්‍ෂ නායකතුමාටත්. මම හිතන්නේ මේ ක්‍රමවේදය පටලවා ගැනීමක් තිබෙනවා. කතානායකතුමා ඒක නිවැරැදි කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලුම කඩාවැටීම් සම්බන්ධයෙන් ජනතාව ඇඟිල්ල දිගු කරන්නේ පාර්ලිමේන්තුවට සහ ආණ්ඩුවට. පාර්ලිමේන්තුවේ 225 දෙනාට. ජනතාවගේ පැත්තෙන් ඒකට ප්‍රබල සාධාරණ කරුණක් තියෙනවා. මොකද මූල්‍ය පාලනය ගැන තනි අනන්‍ය වගකීම ලබාදී තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ සොයා බැලීම්වලින් තොරව මේ රටේ වංචා දූෂණ ඕනතරම් සිද්ධ වෙනවා.

දේශපාලනඥයන් වැරදි පුද්ගලයන් රජයේ වැදගත් ස්ථානවලට පත් කිරීම නිසා මේ අර්බුද ඇතිවුණා. 2006 වර්ෂයේදී මම රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට බලපාපු එක හේතුවක් තමයි, එදා රජය මහ බැංකු අධිපතිවරයා ලෙස කබ්රාල් මහතා පත් කිරීම. මම කිව්වා ඔහු සුදුසු නැහැ කියලා. මේ රටේ ආර්ථිකය කඩාවැටීමට ලොකු විනාශයක් කරපු තැනැත්තෙක් තමයි කබ්රාල්. පී.බී. ජයසුන්දර ආර්ථික ඝාතකයකු කියා එදා ආණ්ඩුවම හඳුන්වා දුන්නා. ඒ උදවියගේ ක්‍රියා කලාපය නිසා අද පාර්ලිමේන්තුවේ 225 දෙනාටම බැට කන්න සිදුවී තිබෙනවා. ආර්ථික මර්මස්ථාන ගැන අපේ රටේ අවධානය යොමුවී නැහැ. රේගුවේ ආදායමෙන් සියයට හැටක්වත් අපට ලැබෙන්නේ නැහැ.

සියලු නිලධාරීන් දූෂිතයි කියලා මම කියන්නේ නැහැ. කොළඹ රේගුවේ රාජ්‍ය බැංකුවක ශාඛාවක් නැහැ. සුරාබදු දෙපාර්තමේන්තුව ගැන ලොකු චෝදනා තියෙනවා. ඒවා අසත්‍ය නොවේ. රටට ලැබෙන්න ඕන ආදායම අහිමි වෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුළුල් පරිවර්තනයක් අවශ්‍යයි. අනාගතයට ගැළපෙන බදු ප්‍රතිපත්ති සැකසීම පාර්ලිමේන්තුව පැහැර හැරලා තිබුණා. ආර්ථිකය කඩාවැටුණේ ඒ නිසයි. මේ රටේ දූෂණය හැමතැනම තියෙනවා. ජනාධිපතිතුමා පත්වනේත් දූෂණය තුළ. මන්ත්‍රීවරු පත්වන්නේ දූෂණය එක්ක. පළාත් පාලන මන්ත්‍රීවරු පන්වත් දූෂණයත් එක්ක. මේ හැම තැනම ජාවාරම්කාරයෝ ඉන්නවා.

හැමතැනම කලු සල්ලි ජාවාරම්කාරයෝ ඉන්නවා. හිටපු ජනාධිපතිතුමාට මුහුණ දෙන්න සිදුවුණේත් ඒ ඉරණමට. එතුමට සල්ලි වියදම් කරපු ජාවාරම්කාරයෝ තමයි බදු ප්‍රතිපත්ති වෙනස් කරන්න උල්පන්දම් දුන්නේ. කළු සල්ලි ජාවාරම්කාරයන්ට යටවීම නිසා ඒ දේ සිද්ධ වුණේ. අපි ඒක වෙනස් කරන්න ඕන. නැත්නම් මේ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගෙනියන්න බැහැ. රට වැටීගෙන ආ වේගය බලනකොට රට අරාජික වූ වේගය බලනකොට අපට අද සතුටු වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය බේරගන්න පුළුවන් වුණු එක ගැන.


( සුජිත් හේවාජුලිගේ)