යාල වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ ඝන වනාන්තරයක් සහිත ගල් ආර පුදේශයේ ඉඩම් අක්කර 40ක් පමණ බැකෝ යන්ත්‍ර යොදාගෙන එළිපෙහෙළි කරමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම මහා පරිමාණ පරිසර විනාශය දින හයක් පමණ තිස්සේ සිදුවන බවට හේන් ගොවියන් කළ දැනුම් දීමකට අනුව මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එම ස්ථානයට ඊයේ (27) ගිය අතර ඒ බව දුටු බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු විදුලි වේගයෙන් පළායනු දැකගත හැක විය. එළිපෙහෙළි කළ භූමියේ සාදා තිබූ තාවකාලික ලැගුම්හලක හිස් මත්පැන් බෝතල් 212 ක්ද තිබී සොයාගැනීමට හැකිවිය.
වසර දෙසීයක් තුන් සියයක් පමණ පැරණි පලු, වීර ආදී ගස් ගලවා පෙරළා දමා තිබූ අතර, අක්කර 40 ක පමණ භූමි ප්‍රමාණයක් වට කර අඩි හතළිහක් පමණ පළලට මාර්ගයක්ද සලකුණු කර ඇති ආකාරය දැක ගැනීමට හැකි විය. මෙම යාල වන සංරක්ෂණ කලාපයේ වන අලි ඇතුළු වන සතුන් සහ කුරුලු වර්ග දහස් ගණනක ගේ වාසස්ථාන අහිමි කරමින් දින 6 ක් තිස්සේ සිදුකරන පරිසර විනාශය පිළිබඳව ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන් සහ යාල වනජීවි නිලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු නිලධාරියකු ඒ පිළිබඳව සොයා බැලීමක් නොකළ බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
දෙබරවැව ප්‍රදේශයේ ලී වෙළද ව්‍යාපාරිකයකු මෙලෙස ඉඩම් ඇල්ලීමේ ජාවාරම සිදු කරන බවත් ඔහුට අක්කර තිහක් සහ ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරින් කිහිප දෙනෙකුට අක්කර දහයක් ලෙස මෙලෙස එළි-පෙහෙළි කරන බව එම ස්ථානයෙන් පලායමින් සිටි යන්ත්රකරුගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ය. එම ස්ථානයේ සිටම මේ පිළිබඳව ලුණුගම්වෙහෙර අඩවි වන නිලධාරී කුමුදු රෝහණ මහතාගෙන් විමසීමක් කළ අතර මෙවැනි සිදුවීමක් තමන්ට වාර්තා වී නොමැති බව ඔහු කීවේය. එලෙස හෙළි පෙහෙළි කිරීමක් සිදු කරන්නේ නම් පරිසර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.
මෙම වනාන්තරයේ දිවුල්, පළු, වීර වැනි ශාක වර්ග බහුලව දැකිය හැකි අතර මෙම ශාක විනාශ කිරීමෙන් අලි ගම් වැදීම වැළැක්විය නොහැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති. වියළි කාලයට වන සතුන්ට ජලය ලබා ගැනීම සඳහා මෙම ප්‍රදේශයේ කුඩා වැව් ස්ථාපනය කොට ඇති අතර, එම කුඩා වැව් සඳහා ජලය ලැබෙන්නේ ගල් ආර මගින් බවත් එම ජලය ලැබෙන ආරවල් සියල්ල හරස්කර මෙම මහා පරිමාණ ඉඩම් ජාවාරම සිදු කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් ගේ සහයෝගයක් ලැබෙනු ඇති බවත් එම ස්ථානයට පැමිණි පරිසරවේදී ප්‍රින්ස් සුරේන්ද්‍ර දහනායක සඳහන් කළේය. මේ පිළිබඳව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ වන සංරක්ෂණ ඉඩම් එළි පෙහෙළි කරන බවට නිතර වාර්තා වන බැවින් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීමට ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවය.
අමිල සම්පත් ශ්‍රී
0 Comments