මේ දිනවල බොහෝ දෙනා තම ආර්ථික, සමාජ ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් රැකී රක්‍ෂා සඳහා විදෙස්ගත වීම සිදුකළත්, එවැනි අවස්ථාවලදී තමාට හෝ තමන් සමග යන පවුලේ සාමාජිකයන්ට විය හැකි ශාරීරික හා මානසික රෝගාබාධ පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වති. ශ්‍රී ලංකාව වැනි සමඛර කාලගුණික තත්ත්වයක් යටතේ වසර ගණනාවක් ජීවත් වූ මෙරට සියලුම වැසියන් අධික සීතල හෝ උෂ්ණාධික රටවලට වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවෙන් පිටත්ව යාමේදී සැලකිලිමත් විය යුතු බොහෝ කරුණු මේ ලිපිය හරහා ගෙනහැර දක්වන්නේ, කළුබෝවිල ශික්ෂණ රෝහලේ කායික රෝග විශේඥ වෛද්‍ය නන්දන දික්මඩුගොඩ.
"නිරෝගී තරුණ අයට විදෙස්ගත වූ විට ලෙඩ රෝග හැදෙනවා අඩුයි. ඔරොත්තු දීමේ හැකියාව හොඳින් තියෙනවා. නමුත් ලංකාවේදී නීරෝගීව සිටයත් සැඟවුණ රෝග තත්ත්වයන් තිබුණොත්, විදේශයකදී ඒවා මතුවීමට තිඛෙන අවස්ථාව වැඩියි. උදාහරණයක් විදිහට අධික සීතල නිසා පෙණහලුවල රෝගී තත්ත්වයන් තිබෙන අයට හතිය එන්න පුළුවන්. සමහරුන්ගේ මතයක් තිබෙනවා සෙම් රෝග, ඇදුම තත්ත්වයන් තියෙන අය අධික සීතල තියෙන රටකට ගිය විට සෙමි රෝග තත්ත්වයන් අඩු වෙන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ රටේ තිබෙන ප්ලවාෂ්ප ප්‍රමාණය අධිකයි. වෙනත් රටවල අධික සීතල වුණාට ජලවාෂ්ප ප්‍රමාණය අඩුයි.
එතකොට අප හුස්ම ගත්ත වාතයේ තිබෙන ප්ලවාෂ්ප ප්‍රමාණය අඩු නිසා ශරීරයේ තිබෙන දියර ප්‍රමාණය පරිසරයට යනවා. ඒ නිසා පෙණහලු වියළීමක් සිදුවෙනවා. ලංකාවේ තිබෙන ආර්ද්‍රතාව වැඩි නිසා ජල වාෂ්ප වැඩියි, ඒ නිසා හතිය වැනි රෝගී තත්ත්වයන් වැඩියෙන් පෙන්නුම් කරන්න පුළුවන් ලංකාවේ.
හෘදයාබාධ තිබෙන අය සීතල රටකට ගියොත්, නැවත හෘදයාබාධ ඇති වීමේ අවදානමක් තිඛෙනවා. දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගවලටද සිදුවන බලපෑමත් වැඩියි. බොහෝ විට ඒකට හේතුව ඒ රටවල තිබෙන ආහාර රටාව වෙනස්වීම. කෑම බීම වැඩිපුර ආහාරයට ගැනීම නිසා එවැනි රටවලදී මෙවැනි රෝග තත්ත්වයන් වැඩි වීමේ අවදානමක් තිබෙනවා. දේශගුණය නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වවලට ලොකු බලපෑමක් සිදුවන්නේ නෑ. නමුත් මහලු කෙනෙකු නම් සීතලට ඔරොත්තු දීමේ හැකියාව අඩු විය හැකියි. එබැවින් මේ සඳහා පෙර සූදානමකින් යුතුව යා යුතුයි. ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ දියුණු රටවල නම් දියවැඩියාව සහිත රෝගී පුද්ගලයන්ට ඊට අවශ්‍ය කෑම බීම තිඛෙන නිසා ගැටලුවක් නොවෙන්න පුළුවන්. උදාහරණයකට දියවැඩියාව සහිත රෝගීන්ට සීනි රහිත චොක්ලට් තිබෙන නිසා මිල අධික වුණත් රෝගී තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඒ රටවලදී ඒ ඒ සුදුසු ආහාර ලබාගන්නවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් තරුණ පුද්ගලයෙක් අරාබි රටකට ගියහොත්, මස් මාංස ආහාරයට ගැනීම වැඩියි. තෙල් අධික ආහාර ගැනීම වැඩියි.
චීස්, බටර් වැනි මේදය අධික ආහාර ලබා ගැනීම වැඩි නිසා කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන් වර්ධනය විය හැකියි. මෙරටින් නිරෝගීව ගියත්, එවැනි රටවලදී මාස දෙක තුනක් යන විට කොලෙස්ටරෝල් තත්ත්වයන් වැඩි විය. හැකියි. ඒ වගේම තවත් දැනගත යුතු කරුණක් වන්නේ, මෙරටට වඩා එවැනි රටවලදී වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමට පහසු නැහැ කියන එක. ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවල පවා වෛද්‍යවරු වූ අපිටත් ඖෂධ ලබාගැනීම පහසු නැහැ. එම රටවල් දියුණු වුවත්, ඒ රටවල ඇති ක්‍රියාදාමය අනුව පහසු නැහැ. අදාළ වෛද්‍යවරයා වෙත වෙලාවක් වෙන් කරවාගෙන සති ගණන්, මාස ගණන් බලා සිටීමට සිදුවන අවස්ථා තියෙනවා. අධිරුධිර පීඩනය හා දියවැඩියා රෝගීන් නිතර තමන්ගේ රෝගී තත්ත්වයේ ප්‍රමාණය බලාගැනීමට ඇති පහසුකම අවමයි. මේ නිසා උග්‍ර වීමට හෝ ජීවිත අවදානමක් ගැනීමට සිදුවන අවස්ථා ඇති විය හැකියි. වෛද්‍ය රක්‍ෂණ පහසුකම් නොමැති අයට මෙවැනි අවස්ථාවලදී විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. විශේෂයෙන් ආරාධිතයෙකු ලෙස විදෙස්ගත වන පිරිස් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මොකද එවැනි පුද්ගලයන්ට තමන්ගේ රෝගී තත්ත්වයන් සුවපත් කර ගැනීමට විශාල මුදලක් වැය කරන්න සිදුවෙනවා.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට විදෙස්ගත වීමේදී අනිවාර්යයෙන් වෛද්‍ය සහතික ලබාගත යුතු වෙනවා. ඒ වගේම විදෙස්ගත වූ පසුව වෛද්‍ය පරීක්‍ෂණය අසමත් වුවහොත්, එවැනි රටවලින් බාර නොගන්නා අවස්ථා තිබෙනවා.
මෙවැනි අයට වීසා අවලංගු වීම් සිදුවිය හැකියි. ඒ වගේම ගුවන් ගමන් සදහා නුසුදුසු සෞඛ්‍ය තත්ත්වත් ඇති අයටත් වීසා නිකුත් කිරීම සිදුවන්නේ නැහැ. ඒ නිසා විදෙස්ගත වීමට පෙර තමන්ට සුදුසු වෛද්‍යවරයෙකු මුණගැසී වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමු වෙලා විදේශගත වීම සුදුසුයි කියලා නිර්දේශ කළොත් විතරක් විදේශගත වීම වඩාත් හොඳයි. එවැනි අවස්ථාවලදී රක්‍ෂණාවරණයක් සකස් කරගෙන යෑම සුදුසුයි. විදෙස් රටවල ඖෂධ මිල අධිකයි. එනිසා ඇතැම් පුද්ගලයන් විදෙස්ගත වී සිටින කාලයටත් වඩා වැඩි කාලයකට ඖෂධ මිලදී ගෙන යන අවස්ථා දක්නට ලැබෙනවා. කල් ඉකුත් නොවී ඖෂධ තමන්ට අවශ්‍ය පරිදි ගෙන යෑම සුදුසු ක්‍රියාවක්. ඒ වගේම මෙරට වෛද්‍ය පරීක්‍ෂණයට යොමු වූ වෛද්‍ය වාර්තා ඇත්නම්, විදෙස්ගතවීමේදී රැගෙන යන අත් බෑගයේ ඒවා රැගෙන යෑම සුදුසුයි. ගොඩක් ඖෂධ රැගෙන යෑමට අවසර නොමැති වුවත්, අවශ්‍ය ප්‍රමාණයට මෙසේ වෛද්‍ය වාර්තා සමග ඖෂධ රැගෙන යාම නුවණට හුරු ක්‍රියාවක්. මෙරටින් බොහෝ දෙනා විදෙස්ගත වන්නේ, ශාරීරිකව මෙරටට වඩා වෙහෙස මහන්සි වී සිදුකරන රැකී රක්‍ෂා වෙනුවෙන්. එවැනි අවස්ථාවලදී අධික සීතල දේශගුණයක් සහිත දියුණු රටවල නම්, ආරක්‍ෂිත ඇඳුම් කට්ටල භාවිත කිරීම අනිවාර්යයි. එසේ නොවන අවස්ථාවල හෝ රටවලදී විවිධ රෝගී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා. උදාහරණයක් ලෙස අධික සීතල නිසා හෘදයාබාධවලට අමතරව හමේ ඇති වන crossbite වැනි රෝගී තත්ත්වයන්, රෑෂ් ඇති විය හැකියි.
අධික සීතල නිසා හෘදයාබාධ ඇති වීමේ අවදානමත් වැඩියි. ඒ වගේම උෂ්ණාධික රටවල අධිකව දහඩිය දැමීම නිසා හා සිරුරේ ලවණ අඩු වීම නිසා බහුල වශයෙන් මස්පිඬු පෙරළීම වැනි විවිධ රෝගී තත්ත්වයන් ඇති විය හැකියි. අධික හිරු රශ්මිය නිසා සමේ ආසාදන පවා ඇති විය හැකියි. මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබඳ පෙර සිටම දැනුවත්භාවයකින් යුතුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන විදෙස්ගත වීම සුදුසුයි. ඒ වගේම විදෙස්ගත වීමේදී රැකියාවකට ඉල්ලුම් කර, රැකියාව ලැබුණු පමණින් විදෙස්ගත නොවී, තමන් යන රටේ මේ දේශගුණික තත්වය හා ඒ රටේදී ඒවාට ලබාගන්න පුළුවන් වෛද්‍ය පහසුකම් හොඳින් ලබාගත හැකි යැයිද සොයා බැලීම සුදුසු වෙනවා. විදෙස්ගත වීමට පෙර තමන් නොදැනුවත්ව නිධන්ගත රෝග තිබිය හැකි නිසා පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු වීම වැදගත් වෙනවා. අවම වශයෙන් දියවැඩියාව කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, බ්ලඩ් ප්‍රෙෂර්, ඊ.සී.ජී. පරීක්‍ෂණවලට යොමු වී විදෙස්ගත වීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සිරුර වෙහෙසා වැඩ කිරීම සඳහා යොමු වෙනවා නම් ඊ.සී. පී. පරීක්‍ෂණය අනිවාර්යයෙන් කරගත යුතුයි. වයස අවුරුදු 40 ඉක්ම වූ පසු මෙවැනි පරීක්‍ෂණවලට යොමු වීම ඉතාමත් වැදගත්, විදෙස්ගත වන විට බොහෝ දෙනා රැගෙන යාම සඳහා සුදුසු ඖෂධ අපෙන් විමසීම පුරුද්දක්. මෙවැනි අවස්ථාවලදී තමන්ට අදාළ වෛද්‍යවරයා මුණගැසී සුදුසු ප්‍රතිකර්ම විමසා බලා ඖෂධ රැගෙන යාමත් වැදගත්. විශේෂයෙන් සීතලට ලක් වීම නිසා පෙණහලු ආශ්‍රිත රෝග ඇති විය හැකියි. ආහාර වෙනස් වීම නිසා ආහාර අජීර්ණ තත්ත්වයන් ඇති විය හැකියි. සිරුරේ යම් ආසාදන තත්ත්වයක් ඇතිවුවහොත් ඇන්ටිබයොටික් ලබාගත යුතුයි.
බොහෝ අවස්ථාවල එම රටවලත් මේ රටවල භාවිත වන ඖෂධම භාවිත වෙනවා. නමුත් ඒ රටවලදී ඇති වන රෝගී තත්ත්වයන් සඳහා එම රටේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඇතිව ඖෂධ ලබාගැනීම වැදගත්. එසේ නොමැතිව නිකරුණේ මෙරටින් හිතුමතේ ඖෂධ රැගෙන යාම සුදුසු නැහැ. විශේෂයෙන් ඇන්ටිබයොටික් වැනි ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව රැගෙන යාම නොකළ යුතු ක්‍රියාවක්. එසේම පීනස් රෝග, හතිය වැනි රෝගී තත්ත්වයන් සඳහා වන සාමාන්‍ය ඖෂධ මිලදී ගෙන යාම ගැටලුවක් නැහැ. බොහෝ විදෙස් රටවල ඔවර් ද කවුන්ටර් නමින් ඖෂධ ඇති නිසා එවැනි පොදු ඖෂධ ලබාගැනීමේ පහසුකම් තිබෙනවා.
උදාහරණයක් ලෙස ගැස්ට්‍රයිටීස් වැනි රෝගී තත්ත්වයන් සඳහා මෙරට භාවිත වන පොදු ඖෂධ විදෙස් රටවලදී පහසුවෙන් ලබාගත හැකියි. කුඩා දරුවන් සඳහා බොහෝ අවස්ථාවල එම රටවලදීම අදාළ රෝගී තත්ත්වයන් සඳහා ඖෂධ ලබා ගැනීම වැදගත් වියපත් පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන්ටත් රෝගී තත්ත්වයන් ඇතිවීමේදී යම් අවදානමක් තිබෙනවා. අධික සීතල නිසා වයස අවුරුදු 5ත් පහළ දරුවන්ට දැඩි අවදානමක් තිඛෙන අතර, අවුරුදු 12 පහළ දරුවන්ටත් යම් අවදානමක් තිඛෙනවා. ඇදුම හා පෙණහලු ආශ්‍රිත රෝග දරුවන්ටත් දැඩි ලෙස බලපෑම් එල්ල කරන්න පුළුවන්.
මේ නිසා විදෙස්ගත වීමට පෙර දරුවා අදාළ ළමා රෝග විශේෂඥයෙකු වෙත යොමු කර, අවශ්‍ය පරීක්‍ෂණ සිදුකරගෙන යාම වඩාත් නුවණට හුරුයි. බොහෝ අවස්ථාවල ඔස්ට්‍රේලියාව වැනි රටවල නම් පවුලේ සියලුමදෙනා වෛද්‍ය පරීක්‍ෂණ වෙත යොමු වීම අනිවාර්යයි. උෂ්ණාධික රටවල නම්, මෙවැනි වෛද්‍ය පරීක්‍ෂණ වෙත යොමු වීම අනිවාර්ය නොවුණත්, නහයෙන් සොටු දියර ගැලීම, දුහුවිලි නිසා ඇති විය හැකි යම් යම් රෝගාබාධවලට ගොදුරු වීම නිසා දීර්ඝකාලීනව ප්‍රතිකාර ගැනීමට සිදුවන අවස්ථා තිබෙනවා. ඇතැමුන්ගේ මතයක් ලෙස අධික සීතල නිසා හිසකෙස් ඉදීම හෝ හිසකෙස් හැළී යාම වැනි දේ සිදුවන බවට කීවත්, එවැනි කාරණාවල සත්‍යතාවක් නැහැ. එවැනි දෑ සිදුවන්නේ ජානමය හේතූන් මත පමණයි. විදෙස්ගත වූ විට බොහෝ දෙනාට බලපාන තත්ත්වයක් වන්නේ, මානසික වියවුල්භාවයයි.
තනිකම, පාළුව නිසා ඇතිවන තත්ත්වයන් මෙන්ම අවසානයේ ඩිප්‍රෙෂන් තත්ත්වයන්ට මුහුණ දෙන අවස්ථාවන්ද තිබෙනවා. කොයිතරම් ආර්ථිකව ශක්තිමත් වුවත්, තනිකම, පාළුව නිසා මෙවැනි මානසික රෝගී තත්ත්වයන් වළකා ගැනීමට මත්පැන්, දුම්පානයන්ට යොමු වන අවස්ථා තිබෙනවා. ඒවායින් අතුරු ආබාධ ඇති වීම නිසා තවත් රෝගී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා. ඒ නිසා එම රටවලදී තමුන්ට හැකි පරිදි යම් යම් සුදුසු විනෝදාංශ වෙත යොමු වීම වැදගත්. එමෙන්ම දියුණු රටවල කුඩා දරුවන්ට තම මවු රටින් වෙන් වීම නිසා සිදුවන මානසික වියවුල්භාවයෙන් මිදීමට යම් යම් ප්‍රතිකාර ක්‍රම එම රටවල ක්‍රියාත්මක වෙනවා. දරුවාගේ මානසික කඩාවැටීම යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා එවැනි ප්‍රතිකර්ම වෙත යොමු වීම ඉතා වැදගත්. මේ සඳහා දෙමවුපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ
කායික රෝග විශේඥ වෛද්‍ය නන්දන දික්මඩුගොඩ
0 Comments