age-5-below-food-crisis

වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක් ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කමිටුවේදී තොරතුරු අනාවරණය විය.එසේම ගර්භණී මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක අගයද ආහාර හිඟය හේතුවෙන් බෙහෙවින් අඩුව ඇති බවටද එහිදී තොරතුරු හෙළිවිය. ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවිකා වසම් මට්ට මෙන් ප්‍රමුඛතා හඳුනාගෙන මෙම සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවිය යුතු බව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.



ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීම සඳහා විදුලිය බිල පදනම් කරගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් කමිටුවේ පළමු වාර්තාවෙන් යෝජනා කර ඇති බවද ඔහු සඳහන් කළේය.  ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටිකාලීන සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (03) වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය. මෙරට ආර්ථික ස්ථායිකරණයට අදාළ වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා ලබාගැනීම එදින සිදුවිය.

මේ අතර රාජ්‍ය බැංකු පද්ධතිය විසින් රාජ්‍ය ආයතනවලට දෙනු ලැබ ඇති ණය අයකර ගැනීමේ වැඩපිළිවෙළ නිසියාකාරව ක්‍රියාත්මක වී නැති බවටද එහිදී තොරතුරු අනාවරණය විය.  එහිදී වෘත්තීය සමිති නියෝජනය කරමින් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ ඖෂධ, ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් ආර්ථික ස්ථායීකරණ කමිටුව නිර්දේශ කළ විසඳුම් සහ යෝජනා තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට බොහෝ සෙයින් සමාන බවයි.

මෙතෙක් සෞඛ්‍ය සහ පෝෂණ ගැටලු අවම මට්ටමක තිබූ පොළොන්නරුව, මාතර,

ගාල්ල වැනි ප්‍රදේශවලද එම ගැටලුවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව මෑතකදී එළිදක්වන ලද පවුල් සෞඛ්‍ය කාර්යාංශ වාර්තාවේ සඳහන් වන්නේ යැයි ප්‍රකාශ කළ අලුත්ගේ මහතා ඖෂධ මිලදී ගැනීම සඳහා වැය කෙරෙන රුපියල් කෝටි 16,000 ක මුදල ක්‍රමවත් නියාමනයකින් කෝටි 2000 දක්වා අඩු කරගත හැකි බවද පෙන්වා දුන්නේය. රසායනාගාර සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරමින් කරුණු දැක්වූ රවී කුමුදේශ් මහතා පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ඉල්ලා සිටින දූෂණයට වැට බැඳීමට අදාළ වන යෝජනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් ලබා දීම අවශ්‍ය බවයි.

ඖෂධ සහ උපකරණ ප්‍රසම්පාදනයේදී ජාතික ප්‍රසම්පාදන කොමිසම සතුව පවතින අධිකාරී බලය දේශපාලන අතපෙවීම් අභිබවා යෑම සඳහා ප්‍රමාණවත් නොවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.  මහ බැංකුවේ තීරණ යටපත් කරමින් ගත් දේශපාලන තීන්දු හේතුවෙන් දරුණු ආර්ථික අවපාතයක් ඇති වූ බවට ද මෙම කමිටුවේදී තොරතුරු අනාවරණය විය. මෙම රැස්වීමට කමිටු සාමාජිකයන් වන අමාත්‍ය නසීර් අහමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ යන මහත්වරුද සහභාගි වූහ.

අංජුල මහික වීරරත්න