age-6-kid-died-after-attack

ගම්පහ, පහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 6ක් පමණ වයසැති දරුවකු පහර කෑමකට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ (13) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පහරකෑමට ලක්ව ඇත්තේ දරුවාගේ මවගේ අනියම් සැමියා යයි කියන පුද්ගලයා අතිනි.

මෙසේ මිය ගොස් ඇත්තේ, ඉඳුනිල් චතුරංග නමැති දරුවකු වන අතර, එම දරුවාට පහරදීම සම්බන්ධයෙන් ගම්පහ පොලීසියට පෙරේදා (12) රාත්‍රි 10.30ට පමණ ලද තොරතුරක් මත, එම නිවෙසට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් දරුවා සහ ඔහුගේ මවද රෝහල්ගත කර ඇත.

එම දරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව, ශල්‍ය කර්මයකට භාජන කර ඇති අතර පසුව මියගියේය.



දරුවාට පහරදීමක් සිදුව ඇති බව අනාවරණය වීම මත මවගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධික ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර මත්ව සිටි අතරවායේදී, මෙම දරුවාට පහරදී ඇති බවට පොලිසිය සැක කරයි. සැකකරුගේ අවුරුදු හතරක් වයසැති ගැහැනු දරුවාට සහ පිරිමි දරුවාට නොසලකා ඇයගේ දරුවාට පමණක් සලකන බවට සැකකරු මෙවැන්නක් කර ඇතැයි පැවසේ.  මෙම දරුවාගේ මව වන චම්පිකා නමැත්තියගේ නීත්‍යානුකූල සැමියා  2017 වසරේදී පවුල අතහැර ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සැමියා අතහැර යෑමෙන් පසු ඇය කොළඹ 15  ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සමඟ වසර හතරක පමණ කාලයක් තිස්සේ සිට අඹුසැමියන් ලෙස ජීවත්ව සිට ඇතැයි පොලීසිය පවසයි.  සැකකරුගේ  දරු දෙදෙනා ද කාන්තාවගේ නිවසේ පදිංචිව සිට ඇත. මෙම කාන්තාවගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙරේදා (12) කොළඹ ප්‍රදේශයට යන අවස්ථාවේ ඉඳුනිල් නමැති මෙම දරුවාද රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඔහු කොළඹ ප්‍රදේශයට ගොස් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඒවා පානය කර දුම්රියකින් පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ගම්පහ දුම්රිය ස්ථානය අසලදී දරුවාට වමනේ ගිය බව සැකකරු නිවසට පැමිණ ඔහුගේ අනියම් බිරිඳට පවසා ඇතැයිද, උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය. මව මෙම දරුවාට ආහාර ලබාදී ඇතත්, ඔහු ආහාර ලබාගෙන නොමැති අතර දරුවා කිහිපවරක්ම වමනව කර ඇතැයි කියති.  දරුවාගේ මව මෙම තොරතුරු හෙළි කළේ යැයි එම නිලධාරියා පැවැසීය.  අනියම් සැමියාගේ පහරකෑම්වලට ලක්වීම නිසා දරුවා රෝගාතූරු වන්නට ඇතැයි පවසමින් ඇය ඒ ගැන පොලීසියට දැනුම් දී ඇත. මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ගම්පහ මහ රෝහලේදී ඊයේ (12) පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය