anuradapura-food-crisis

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි ආහාර අනාරක්ෂිතභාවයකින් පෙළෙන පවුල් 13,597ක් සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා ආහාර රක්ෂිතතාව හා පෝෂණය සඳහා වන උතුරුමැද පළාත් සැලසුම් කමිටුවේ දී පෙරේදා (28) පැවැසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් දෙලක්ෂ හතළිස් අටදහසක් සිටින බවත් එම පවුල් අතරින් 13,597ක් මේ ආකාරයට ආහාර අහේනියකින් පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය.මෙම පිරිසට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගෙන තිබෙන බව කී හෙතෙම ඔවුන්ට ගම් මට්ටමින් කමිටු හරහා සතියකට දෙවතාවක් පමණ වියළි සලාක මල්ලක් ලබා දීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.



ඊට අමතරව විහාරස්ථාන මගින් හා ආහාර බැංකු මගින් ඔවුන්ට සහන සැලසීමට ද පියවර ගෙන තිබෙන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් නවසිය දෙනකු පමණ සිටින බවද හෙතෙම කීවේය.මෙම රැස්වීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පෙරේදා පැවැත්විණි. උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන උතුරු පළාතේ දරු දැරියන් ඉන් මුදා ගැනීම සඳහා විශේෂ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කිරීමට ද එහිදී තීරණය විය.


 දයාරත්න ඇබෝගම