bad-weather-16-22

වැසි තත්ත්වයේ යම් අඩුවීමක් වාර්තා වුවත්,මෙමස 16 වැනිදා සිට 22 වැනිදා දක්වා යළි කාලගුණික තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය.



එම දිනවල වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවේද නැතහොත් සුළි කුණාටුවක්ද යන්න තවමත් නිශ්චිතව තහවුරුවී නැතැයිද ඔහු කීවේය.

මෙමස 16 වැනිදා සිට 22 වැනිදා ඇතිවන තත්ත්වය තවමත් පවතින්නේ අන්දමන් දූපත් ආශ්‍රිතව බවත්,එම පීඩන අවපාතය වර්ධනය වන්නේ සුළු වශයෙන් බවත්,එය නිශ්චිතවම මෙරටට සුළි කුණාටුවක් ලෙස බලපායිද යන්න තවමත් නිශ්චිතවම අනාවරණය කළ නොහැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එම පද්ධතියේ ජල වාෂ්ප ප්‍රමාණය,ගමන් මාර්ගය අනුව සියල්ල තීරණය වන බවද ඔහු කීවේය.

සීත දේශගුණික තත්ත්වයක් පසුගිය දිනවල ඇතිවූයේ ප්‍රධාන වශයෙන් සුළි කුණාටුවත් සමග ඉන්දියාව හරහා සුළං හමාන රටාවක් ක්ෂණිකව ඉස්මතුවූ නිසා බවත්,එවිට සුළි කුණාටුව පැවතියේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 370 ක් පමණ ඈතින් ඊසාන දෙසින් බවත්,

ඊට වායු ගෝලයේ තිබෙන ජල වාෂ්ප ගෙන්වූයේ හිමාලය හරහා සුළං ධාරා බවත්,මේ නිසා දෙසැම්බර් මාසයේ සාමාන්‍ය සීත දේශගුණයට වඩා සීතල ඇතිවූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

සාලිය කුමාර ගුණසේකර