bandula-speaks

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත් සමාගම්වලට ගෙවිය යුතු හිඟ මුදල් රජයේ පිළිගත් බැඳුම්කර නිකුතුවක් මගින් කොටස් වශයෙන් ගෙවන බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.හෙතෙම සඳහන් කර සිටියේ, මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්ව රජයේ පිළිගත් බැඳුම්කර නිකුත් කිරීමක් මගින් මෙම ගෙවීම් සිදුකරන බවයි.ඒ අනුව විවිධ සමාගම් විසින් සිදුකර ඇති ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු බිල්පත්වල කල්ගතවීමේ ප්‍රමුඛතාව මත වසරකින්,

වසර 02කින් හෝ වසර 03කින් කල් පිරෙන බැඳුම්කර මගින් මුදල් ගෙවීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එසේම කොන්ත්‍රාත් සමාගම්වල එකඟතාව සහිතව නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ වටිනාකම සහ වසරකට 22.50% පොලී අනුපාතයක් සහ කල් පිරෙන කාලයට අනුව එදිනට මුහුණත වටිනාකම රාජ්‍ය බැංකු මගින් අදාළ බැඳුම්කර වෙනුවෙන් ලබාගැනීමේ විශේෂ අවස්ථාවක් ඉදිකිරීම් සමාගම්වලට හිමිවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.මෙහිදී ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදුකළ සමාගම්වල නියෝජිතයන්ගේ එකඟතාව පරිදි ඉල්ලීම සිදුකර දින කිහිපයක් ඇතුළත මෙම බැඳුම්කර අදාළ සමාගම්වලට නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය කටයුතු කිරීමට නියමිත බවද සඳහන් වේ.

 නිදර්ශනි වික්‍රමසිංහ