benadict-pope-death

අද (31) උදැසන  අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්වර්ගස්ථ වීය.
ස්වර්ගස්ථ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 95 කි.
එතුමන්  ශුද්ධෝත්තම පියතුමන්ගේ මාටර් ඇක්-ක්ලිෂියා නිවස්නයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ස්වර්ගස්ථ විය. පියතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, ලබන 05 වැනිදා සාන්ත පීතර චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව වතිකානය නිවේදනය කළේය.


එතුමන්ගේ අභාවය පිළිබඳ  වතිකානය නිල වශයෙන් නිවේදනය කළේ,   වතිකාන වේලාවෙන් අද  පෙරවරු 9.34ට ය.

අති උතුම් 16 වන බෙනඩික්ට් පියතුමන් 1927 වසරේ අප්‍රේල් මාසයේදී ජර්මනියේ උපත ලැබුවේ ය.
වසර 480කට පසු ජර්මනියෙන් තේරී පත්වූ පළමු ශුද්ධෝත්තම පියතුමන් ලෙස අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන් හැඳින්වේ.
16 වන බෙනඩික්ට් පියතුමන් 2005 වසරේ සිට 2013 වසර දක්වා ශුද්ධෝත්තම පියතුමන් ලෙස කටයුතු කළේ ය.
2013 වසරේදී උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව ප්‍රකාශ කරමින් උන්වහන්සේ ශුද්ධ වූ පාප් ධුරයෙන් විශ්‍රාම ලැබූ අතර එලෙස ශුද්ධෝත්තම පියතුමන් කෙනෙකු ස්වර්ගස්ථ වීමට පෙර එම ධුරයෙන් විශ්‍රාම ලැබූවේ, වසර 600කට පසුව වීම විශේෂත්වයකි.



උන්වහන්සේ වසර 8ක කාලයක් ශුද්ධෝත්තම පියතුමන් ලෙස සිය දූත කාර්යය සිදුකළ අතර දුප්පතුන් , කුඩා දරුවන් , හඬක් නැති අසරණ මිනිසුන් හා අයුක්තිය වෙනුවෙන් අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම හිමිපානන් කළ කාර්යයභාරය ප්‍රශංසනීය ය.

අති උතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමන්ගේ දේහය ජනවාරි 2 වැනිදා  ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයට ගෙන ඒමට නියමිත අතර අවසන් කටයුතු ලබන 05 වැනිදා සාන්ත පීතර චතුරශ්‍රයේදී සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.