The-cause-of-the-death-of-thousands-of-cattle-and-goats-is-still-being-sought

බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවූ ‘මැන්ඩවුස්’ සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාව දෙසට ගොස් හමාරය. නමුත්, මින්පෙර නොවූ අයුරින් මෙවර සුළි කුණාටුවත් සමග උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගවයන් සහ එළුවන් දහසකට වැඩි පිරිසක් මිය ගොස් තිබිණි.

එම ප්‍රදේශවල එළිමහනේ තෘණ උලාකමින් සිටි ගවයන් සහ ගව මඩුවල සිටි ගවයන් එකවරම බිම ඇදවැටෙන්නට වූයේ සීතල දරාගත නොහැකිවය. ඊට පිළියම් ලෙස ගවයන්ගේ අයිතිකරුවන් ටයර් ආදිය පුලුස්සා එම සතුන් උණුසුම් කිරීමට උත්සාහ කළද ඒ සියල්ල ගඟට කැපූ ඉණි සේ විය. ඔවුන් ඇස් ඉදිරිපිටදීම බිම ඇද වැටී දළදඬුවී අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේ තමන් ආදරයෙන් රැක බලා ගත් සතුන් අයිතිකරුවන්​ගේ දෑස් කඳුළින් තෙත් කරවමිනි.



සෑම වසරකම දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී උතුරු හා නැගෙනහිර පළාත්වලට සීත දේශගුණය දැඩිව බලපෑම් සිදුකරයි. වෙනදා එම කාලයේ සැලකිය යුතු තරම් සීතලක් තිබුණද, උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 තරම් පහළ අගයකට නොවැටිණි.

නමුත්, මෙවර බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වූ සුළි කුණාටුව වෙනදාට වඩා වැඩි සීතලක් උතුරු නැගෙනහිර පළාත්වලට රැගෙනවිත් තිබිණි. එනිසා මිනිසුන් සිටියේ නුවරඑළියේ සිටින්නාක් මෙන් ජර්සි ආදිය ඇඳපැලඳගෙනය.

උතුරු පළාතේ ජනතාව පැවසූවේ මීට 15 වසරකට පමණ පෙර මෙවැනිම දැඩි සීතලක් දෙසැම්බර් මාසයක පැවැති බවත්, ඉන් අනතුරුව පැවැති සීතලම දෙසැම්බරය මෙය බවත්ය.

සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25කට වැඩි උෂ්ණත්වයක් වාර්තා වන වවුනියාව දිස්ත්‍රික්කයෙන් පසුගිය 08 වැනිදා හා 09 වැනිදා සෙල්සියස් අංශක 17ක තරම් අවම උෂ්ණත්වයක් වාර්තා වී තිබිණි.

රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ පැවැති අධික සීතල දරා ගැනීමට නොහැකිව උතුරු නැගෙනහිර පළාත්වල සිටි ගවයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් හා එළුවන් රැසක් ද මියගොස් සිටි බවයි. පශු වෛද්‍ය අංශ වාර්තාවලට අනුව එම කාලයේදී උතුරු නැගෙනහිර පළාත්වල සිටි ගවයන් 836දෙනකු හා එළුවන් 256 දෙනකු මිය ගොස් තිබේ. සීතල නිසා මෙලෙස සතුන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බවට මෙරටින් වාර්තා වන පළමු අවස්ථාව මෙයයි.

ගවයන් වැඩිම ප්‍රමාණයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේදී මියගොස් ඇති අතර මුලතිව්, වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද ගවයන් සැලකිය යුතු සංඛ්‍යාවක් මියගොස් සිටි බව කිරි ගොවීහූ පැවසූහ. ඒ අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කන්ඩාවලෙයි, පුනරීන්, පලෙයි හා විශ්වමඩු ආදි ප්‍රදේශයන්හිදී සහ මුලතිව්හි ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු හා කුමුලමුනෙයි ප්‍රදේශයන්හි මෙන්ම වවුනියාව නෙඩුන්කේනි ප්‍රදේශයෙන්ද ගවයන් අධික සංඛ්‍යාවක් එලෙස මියගොස් තිබිණි.

එම දිස්ත්‍රික්ක භාර පශූ වෛද්‍ය නිලධාරීන් පැවසූවේ එළිමහන් ගවමඩු හා එළුමඩුවල සිටි සතුන් විශාල ප්‍රමාණයක් එලෙස මියගොස් ඇති බවට මූලිකව අනාවරණය වන බවයි. කිලිනොච්චිය, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි පට්ටි මඩු ලෙසින් හැඳින්වෙන එළිමහන් ගව මඩු තුළ ගවයන් 200-300ක් පමණ ගාල් කොට ඇති අතර, එළිමහන් ගව මඩුවල වහල සැකසීමක් සිදු නොකෙරේ.

එවැනි එළිමහන් ගව මඩු කැලෑ ආසන්නයේ හා ජනතාව ගැවසෙන සීමාවන්ගෙන් මඳක් ඈත්ව සකස් කොට ඇත.

පුනරීන් ප්‍රදේශයේ පවතින එවැනි ගව මඩු තැනින් තැනට රැගෙන යා හැකි වන ලෙසට සකස් කොට තිබේ. ලුණු සහිත පසක් පවතින පුනරීන් ප්‍රදේශයේ ගොවීහු වගාවට පෙර මුදල් ගෙවා ගව මඩුව තමන්ගේ ඉඩමේ රඳවා ගනිති. එලෙස සංචාරක ගව මඩුවක් සතියක් හෝ දින කිහිපයක් තමන්ගේ වගා ඉඩම තුළ රඳවා ගැනීමේදී ගවයන්ගෙන් ලැබෙන ගොම හා ගව මුත්‍රා ඉඩම තුළම රඳවා ගන්නා අතර, එමගින් ගොවීහු ස්වාභාවිකවම තමන්ගේ වගා භූමිය සාරවත් කර ගනිති.

එවන් ගව මඩු තුළ ඇතැම් අවස්ථාවන්හි ගවයන් 100කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, ඒවා තාවකාලික ගව මඩු බැවින් කිසිදු ආවරණයක් දැක ගැනීමට නොමැත.

උතුරු පළාතේ ගොවීන් බහුතරයක් ගව පාලනයද සිදුකරන අතර, පෞද්ගලික ඉඩම් තුළ පොළොවට කොන්ක්‍රීට් දමා වහල සකස් කොට ගව මඩු සකස් කර තිබේ. එවැනි ගව මඩු තුළ රැඳී සිටි ගවයන් මියගොස් තිබු‍ණේ ඉතා අවම සංඛ්‍යාවකි.

තමන්ගේ නිවාස ආසන්නයේ සකස් කොට ඇති ගව මඩුවල ගවයන් 10 - 15ක් පමණ රඳවා සිටින අතර, වැසි සමයේදී ගොවි ජනතාව අදාළ මඩු තුළ සිටින ගවයන්ට උණුසුම ලබාදීමට කුඩා ගිනි ගොඩවල් ගසති.

සුළි කුණාටුවත් සමග ඇති වූ සීතලෙන් එළිමහන් ගව මඩුවල රැඳී සිටි ගවයන් විශාල පිරිසක් මියගොස් සිටි අතර, වැස්සට තෙමීම හා අධික සීතලට මුහුණ දීමට නොහැකිව ඔවුන් මියගොස් ඇති බව පශූ වෛද්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ. කිලිනොච්චිය ප්‍රදේශයේ පශූ වෛද්‍යවරුන් පැවසූවේ මියගිය ගවයන්ගේ ශරීර කොටස් පරීක්ෂණ කටයුතු සඳහා යොමුකර තිබෙන බවයි. මේ අතර, තමන්ගේ ගවයන් මෙලෙස මියයාම තමන්ට මහත් ආර්ථික පාඩුවක් බව ගොවි ජනතාව සඳහන් කළහ.

කිලිනොච්චිය, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ගොවියෙක් වූ එස්. මනෝජ් කියා සිටියේ සිය ජීවනෝපාය වන කිරි කර්මාන්තය අහිමිවීම නිසා තම දරු පවුලම අසීරු තත්ත්වයකට පත්ව සිටින බවයි.



“මගේ හරක් පට් ටියේ ලොකු එළ හරක් 15ක් සීතල දරාගන්න බැරුව මැරිලා ගිහිල්ලා. මට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බෑ. හරක් 15ක් එකපාර මැරෙනවා කියන්නේ පටිටියම නැතිවෙලා ගියා වාගේ තමයි. එතැන එළදෙන්නු තුන් දෙනෙකුත් ඉන්නවා. මට වෙච්ච පාඩුව එසේ මෙසේ පාඩුවක් නොවෙයි. හෙණයක් ගැහුවා වාගේ තමයි මේ සිද්ධිය” යැයි ඔහු වැඩිදුරටත් කීවේය.

වර්තමානයේදී සාමාන්‍ය ප්‍රමාණයේ ගවයකු රුපියල් ලක්ෂයකට වැඩි මුදලකටද, හොඳින් වැඩුණු ඇතැම් ගවයන් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලකටද මිලදීගන්නා බව ගව මස් අලෙවි කරන්නෝ පවසති.

එළැඹෙන නත්තල් සමයේදී හරක් මස් හා එළු මස් මිලදී ගැනීමේදී පරීක්ෂාකාරි වන ලෙස උතුරු පළාතේ පශූ වෛද්‍ය නිලධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති. පශූ වෛද්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ මියගිය ගවයන්ගේ මරණයට හේතුව තවමත් නිශ්චිත නොමැති බැවින්, මියගිය හරකුන්ගේ මස් අනුභවයට සුදුසු නොවන බවයි.

මේ අතර, මියගිය ගවයන්ගේ අයිතිකරුවන් වෙනුවෙන් යම් සහනදායි වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව රජයේ වගකිවයුතු අංශවල මෙතෙක් අවධානය යොමුව නැතැයි එම පිරිස් පැවසූහ.

සාලිය කුමාර ගුණසේකර / මාධව කුලසූරිය