බොක්සිං ක්‍රීඩකයකු වන දිනූෂ ලක්ෂාන් නමැත්තකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදෙනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මහනුවර පොලිසිය පවසයි.මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දිනූෂ ලක්ෂාන් යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවස්ථා දෙකකදී රෝහල වෙත ගියද තමා ප්‍රමාණවත් සෞඛ්‍ය තත්ත්වයෙන් නොමැති බවට සඳහන් කරමින් ඔහු මේ වන තෙක් ප්‍රකාශයක් ලබා දී නැතැයි ද මහනුවර පොලිසිය කියයි.



දිනූෂ ලක්ෂාන් යන අයගේ මව වන වී.කේ. පෙරේරා මහත්මිය මහනුවර පොලිසියේ සුළු පැමිණිලි අංශයට ඉකුත් 13 වැනිදා පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් තම පුත්‍රයා වන එම්. එස්. දිනූෂ ලක්ෂාන් ඉකුත් 12 වැනිදා රාත්‍රී 7.30 ට පමණ කිසියම් අයකු නිවසට පැමිණ කැඳවාගෙන ගොස් ඇති බවත් පසුව සොයා බැලීමේදී ඔහුට පහරදී හන්තාන සුළං ක්‍රීඩාංගණය ආසන්නයේ පාළු ප්‍රදේශයක අතහැර දමා සිටියදී හමුවූ බවත් සදහන් කර ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදියක් සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක් පිළිබඳව කතා කර ගැනීමට යැයි පවසමින් පැමිණි අදාළ පුද්ගලයා තම පුත්‍රයා රැගෙන ගියේ මහනුවර රෝහල් පටුමගේ පිහිටි සිය නිවසේ නිදා සිටියදී බවත්, පසුව පුත්‍රයාගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිතව තිබීම හේතුවෙන් තමන් ඇතුළු ඥාතීන් ඔහු සොයා ගිය බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි ද පොලිසිය කියයි.

තම පුත්‍රයා කැඳවාගෙන ගිය පුද්ගලයා රෝහල් පටුමග හන්දියට ගොස් එහිදී ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි මැර කණ්ඩායමක සිටි මැර පිරිසක් යකඩ පොලුවලින් අමානුෂික ලෙස පහරදී පුලුස්සා පසුව පැහැරගෙන ගොස් පාලු ස්ථානයක දමා ගොස් තිබියදී හමුවූ බවටද පැමිණිල්ල සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි.බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදී ඇති තම පුත්‍රයා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුට පහර දුන් පිරිස කවුරුන්දැයි සොයා බලා යුක්තිය ඉටුකර දෙන ලෙසට පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් දක්වා ඇතැයි පොලිසිය සඳහන් කරයි.