peradeniya-students-remanded

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර ඇතුළු සිසුන් පිරිසක් සහ දෙමවුපියන් කිහිපදෙනෙකු ඊයේ (15දා) මහනුවර මානව හිමිකම් කාර්යාලයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. එහිදී ඔවුන් පවසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ නොමැති සිසුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්,

ඔහුට සාධාරණයක් ඉටුකරදෙන ලෙසත්ය. එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර,



“පසුගිය 10වැනිදා රාත්‍රියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට ශිෂ්‍යයන් 12දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ සිසුන් 12දෙනා අතර මේ ගැටුමට කිසිසේත්ම සම්බන්ධ නොමැති ශිෂ්‍යයෙකුත් රක්ෂිත බන්ධනාගාරගත වී තිබෙනවා. එම සිසුවා එම ගැටුම ඇතිවන අවස්ථාවේදී මාර්ගගත ක්‍රමයට පවත්වන උපකාරක පන්තියක් මෙහෙයවමිනුයි සිට තිබෙන්නේ. එම  ස්ථානයේ තිබූ සී.සී. ටී.වී. කැමරා දර්ශනවලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාටත් ඔවුන්ගේ දෙමවුපියන්ටත් සාධාරණයක් ඉටු කරවා ගැනීමටයි අපි මානව හිමිකම් කොමිෂන් සභාව  හමුවට පැමිණියේ” යනුවෙන් පැවසීය.



මෙහිදී අසාධාරණයට ලක්වූ බව කියන සිසුවාගේ පියා අදහස් දක්වමින් පවසා සිටියේ තම පවුලේ එකම දරුවා මේ සිද්ධියෙන් දැඩි මානසික කම්පනයකට පත් වී සිටින බවයි. එමෙන්ම තම පුතා මෙවැනි ගැටුම්වලට කිසිසේත්ම සම්බන්ධ නොවන දරුවෙකු බවත්, මේ සිද්ධියෙන් දෙමවුපියන් වශයෙන් තමනුත් දරුවාත් තම ගමට මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
ෂේන් සෙනෙවිරත්න