kushan-sir-arrested

ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටි එම තානාපති කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයා වූ එදිරිවාරිගේ කුෂාන් සහ ආශා දිසානායක යන අය ඇතුළු සැකකරුවන් 07 දෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (13) නියෝග කළේය.

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයාව සිටි එදිරිවාරිගේ කුෂාන් යන අයට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ අනෙක් සැකකරුවන් හය දෙනාට එක් අයකුට රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

සියලුම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12 ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව, මෙලෙස ඇප මත මුදා හැරුණේ ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයාව සිටි එදිරිවාරිගේ කුෂාන්, ආශා දිසානායක, අජිත් කුමාර සමරකෝන්, රාමනාදන් යෝගේන්ද්‍ර නොහොත් ‘යෝගා’, තවුෆික් මොහොමඩ් නවුෆර්, රිස්වි බාලක්‍රිෂ්ණන් සහ මොහොමඩ් රිස්වි යන අයය. මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ඉකුත් ඔක්තෝබර් මස 22 වැනිදායින් පසුව සිද්ධියට අදාළ උප ඒජන්තවරුන් 24 දෙනකු ගැන කරුණු අනාවරණය වී ඇති බවත්, ඉන් 14 දෙනකු සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති අතර තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා තවත් නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 10 වැනිදා ඕමානය බලා පිටත්ව ගොස් ඇති අතර එම නිලධාරීන් සඳහන් කළ අන්දමට තවත් 97 දෙනකු ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණයට පැමිණ ඇති බවත්ය.  සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 19 දෙනකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බැවින් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණට දැනුම් දුන්නේය.


නිමන්ති රණසිංහ