අමාත්‍ය බන්දුල ගුණවර්ධන පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ පවසා තිබේ.
‘ආණ්ඩු හදන්නේත් ආණ්ඩු වෙනස් කරන්නේත් රාජ්‍ය නිලධාරීන්. අඩු දේශපාලන අත්දැකීම් ඇති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වුණේ බලාපොරොත්තු ගොන්නක් එක්ක. හැබැයි පළමුවැනි කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙද්දී මැටි කර්මාන්ත ඇමැති බතික් කර්මාන්ත ඇමති ආදී වශයෙන් ඇමැති ධුර හදලා දුන්නේ කවුද? මේ වගේ තීරණ ගත්තේ කවුද?

ඉතිහාසයේ කවදාවත් නොවන විදිහට එවැනි ඇමතිධුර ලබා දුන්න දවසේම ආණ්ඩුවේ වටිනාකම හෑල්ලුවට ලක් වුණා. මැටි ඇමැති, බතික් ඇමැති නම් ඇහෙද්දිත් මිනිස්සු හිනා වුණා. මේ විදිහට දේශපාලනඥයන් හසුරුවමින් නුසුදුසු අදූරදර්ශී තීරණ ගන්න රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉඳලා තියෙනවා. හරිනම් මේ වගේ තීන්දු තීරණ ගත් නිලධාරීන් කවුද කියලා සොයා බැලිය යුතුව තියෙනවා.

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් අතර මනා සම්බන්ධතාවක් ගොඩනැගීමට නම් ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුව ප්‍රබුද්ධ පාර්ලිමේන්තුව බවට පත්විය යුතුව තියෙනවා.

ඒ වගේම රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ආණ්ඩුව වගේම විපක්ෂයත් තේරුම්ගත යුතුව තියෙනවා. ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන්ගේ උවමනා එපාකම් ඉටු නොකළ විට ඊළඟට රාජ්‍ය නිලධාරීන් හැරෙන්නේ විපක්ෂය පැත්තට. තමන්ගේ අභිමතය ආණ්ඩුවෙන් ඉටු කරගන්න නොහැකි වුණාම රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුව විවේචනය කරමින් විපක්ෂයට එකතු වෙනවා.‘