borella-land-woman-arrested

මියගිය විශේෂඥ වෛද්‍යවරයකුගේ බොරැල්ල ෆෙයාර් ෆිල්ඩ් උද්‍යානයේ රුපියල් කෝටි ගණනාවක් දෙමහල් නිවසට හිමිකම් පාමින් සෙල්ලම් පිස්තෝලයක් රැගෙන එම නිවසට ඇතුළු වී එහි සිටි පුද්ගලයන් ග්‍රහණයට ගෙන මරණීය තර්ජනය කර පළවා හැරීමට උත්සාහ දැරූ පුද්ගලයන් 6දෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය පවසයි. බොරැල්ල වනාත පාර පදිංචිකරුවන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.  අත්අඩංගුවට ගත් කාන්තාව මියගිය සන්නද්ධ අපරාධ කල්ලි නායකයකු වන "වනාතේ ඕල්කට්” නමැත්තාගේ පුංචි අම්මා බවද පොලීසිය පවසයි.



මීට දින කීපයකට ඉහතදී වෛද්‍යවරයා මියගොස් තිබූ අතර කැලිෆෝනියාවේ වෙසෙන ඔහුගේ පුතු පැමිණ අවසන් කටයුතුවලට සහභාගි නැවත එරටට ගොස් තිබූ බවද පොලීසිය කියයි. එයින් දින කිහිපයකට පමණ පසු මහනුවර සිට පැමිණි බව පවසමින් තරුණියක් සමග පැමිණි සැකකාර කාන්තාව වෛද්‍යවරයා ජීවත්ව සිටි කාලයේ ලක්ෂ 80ක මුදලකට දෙමඟල් නිවස සහ ඉඩම තමන්ට විකිණූ බවත් තමන් එහි පදිංචි යන බව පවසමින් පොලීසියට පැමිණ තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.එලෙස නොයන ලෙසත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව විමර්ශනයක් පවත්වන බවත් පොලීසිය දැනුම් දී තිබිණ.

අදාළ පැමිණිල්ල අනුව එම නිවසට ගිය පොලිස් නිලධාරියකු අමතා එහි සිටි පුද්ගලයෙකු වෛද්‍යවරයාගේ සියලු කටයුතු වසර ගණනාවක් තිස්සේ තමන් සිදු කළ බවත් ඔහු ජීවත්ව සිටියදී ඇටෝර්නි බලපත්‍රයක් මගින් මෙම නිවස සහ ඉඩම තමන් වෙත පවරා තිබූ බවත් කැලිෆෝනියාවේ වෙසෙන ඔහුගේ පුතු ඉල්ලූ අවස්ථාවක ලබා දෙන බවට පොරොන්දු මත එම බලපත්‍රය තමන් වෙත වෛද්‍යවරයා ලබා දුන් බව එම පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කරමින් එම බලපත්‍රය ද පෙන්වා තිබූ බව පොලීසිය කියයි.ඒ අනුව අදාළ පැමිණිලි විභාගය අද  (13දා) විභාගයට ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.



පිරිසක් නිවසකට ඇතුළු වී කලබලයක් සිදුවන බවට පොලීසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ බොරැල්ල පොලීසියේ නිලධාරීන් එම නිවස කරා යාමේදී සැකකාර කාන්තාව සහ පුද්ගලයන් 6 දෙනෙකු සිට ඇති අතර ඔහුන් අත්අඩංගුවට ගෙන නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන්ට ගිනිඅවියක් වැනි දෙයක් එල්ල කර නිවසින් යන ලෙස මරණීය තර්ජනය කළ බවත් පවසා තිබිණි.  ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් පරීක්ෂා කිරීමේ දී එක් පුද්ගලයෙකු සන්තකයේ තිබී සෙල්ලම් පිස්තෝලය සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි. අදාළ පුද්ගලයන් පොලිසියට රැගෙන විත් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මියගිය සන්නද්ධ අපරාධ කල්ලි නායක වනාතේ ඕල්කට් නමැත්තාගේ පුංචි අම්මා වන සැකකාර කාන්තාවගේ ඉල්ලීම මත තමන් එම නිවසට කඩාවැදුණු බවට ප්‍රකාශ කර තිබිණි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ