brayan-thomas-dinesh-schaffter-janashakthi

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් ඊයේ පොලිස් ප්‍රශ්න කිරීමට ලක්වූ  අතර අධිකරණයට ඉදිරිපත් කළ ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඊයේ (16) නියෝගයක් නිකුත් කළේය.





බොරැල්ල කන්තේ නවතා තිබූ ඩබ්ලිව් පී කේ වයි 8732 දරන මෝටර් රථය තුළ ගෙල සිරකර සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ගෙල සිරකර සිදුවූ ඝාතනයක් බවට කරුණු අනාවරණය කරමින් මරණ පරීක්ෂණ වාර්තාවද නිකුත්ව තිබේ.
දිනේශ් ෂාෆ්ටර් මහතා වසර තුනකට පමණ ඉහතදී ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ට සභාපතිවරයා විසින් රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් ව්‍යාපාරික කටයුතු සඳහා ලබා දී ඇති නමුත් එම ගනුදෙනුව පියවන්නේ නැතිව ඔහු මගහැරීම මත දිනේෂ්, බ්‍රයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් කාලය තුළදී පැමිණිලි තුනක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
කොළඹ 07 මල්පාරේ පිහිටි නිවසින් ඉකුත් 15 වැනිදා සවස පිටත්ව ඇති  දිනේෂ් බිරියට පවසා ඇත්තේ අදාළ මුදල් ලබා ගත් ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයා හමුවීම සඳහා යන බවය.දහවල් 1.30ට පමණ පිටත්ව ගොස් තිබූ ඔහුට
බිරිඳ මද වේලාවකදී දුරකතන ඇමතුම් ලබාගෙන ඇති අතර එවිට ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබී ඇති අතර ජීපීඑස් පරීක්ෂාව මගින් බිරිඳගේ ජංගම දුරකතනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතිවූ සැකසහිත තත්වය නිසා, බිරිඳ සමාගමේ විධායක නිලධාරිවරයෙකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත යවා ඇති අතර ඔහු පැමිණ සවස 5.00ට පමණ කළ සොයා බැලීමේදී දිනේෂ් මෝටර් රථයේ රියැදුරු අසුන මත අත් දෙක ගැට ගසා ගෙළට වයරයක් දමා සිර කර තිබෙන අයුරු දැක තිබේ.



ඒ වන විට සිහිසුන් තත්ත්වයකින් පසුවුණු බැවින් වහා ක්‍රියාත්මක වී ඇති විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයෙකුගේ උදව් ඇතිව ඔහුගේ අත් දෙක සහ ගෙළ තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.


අසාධ්‍ය තත්ත්වයක පසු වූ අධ්‍යක්ෂවරයාට වෛද්‍යවරුන් කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ සවිකර දැඩිසත්කාර ඒකක දෙක වෙත වෙත යොමු කළ ද අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු කිසිදු ප්‍රකාශයක් නොකර පැය කිහිපයක් තුළදී රාත්‍රී මිය ගියේය.

මිය යන විට 51 වන වියේ පසු වූ ඔහු තිදරු පියෙකි.

ඉතා සැලසුම්සහගතව අධ්‍යක්ෂවරයා සුසාන භූමිය වෙත කැඳවා පිරිසක් එක්ව මෙම සාහසික අපරාධය සිදු කරන්නට ඇතැයි සැකකරන බව පොලසිය පවසයි.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.ඊට අමතරව බුද්ධි අංශ මගින් ද විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට බොරැල්ල පොලිසිය මගින් ඔහුගේ බිරිඳ වන ටානි ශාෆ්ටර්ගෙන්, විධායක නිලධාරියෙකුගෙන්, සුසාන භූමියේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ සේවකයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
බිරිය පැවසූ කටඋත්තරය නිසා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල සහාය සදහා බ්‍රයන් තෝමස් පුශ්න කිරීමට ලක්වූ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
2019 මාර්තු මාසයේදී ව්‍යාපාරික ෂාෆ්ටර් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බ්‍රයන් තෝමස් මහතාව 2021 පෙබරවාරි මසදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පැමිණිල්ලෙන් ෂාෆ්ටර් චෝදනා කර තිබුනේ ඇඟලුම් සමාගමක තැරැව්කරුවකු ලෙස පෙනී සිටිමින් තෝමස් මහතා රුපියල් බිලියන 1.43 ක මුදලක් වංචා කර ඇති බවකි.එම නඩු හබ තවම අවසන්ව නැත.
ඝාතනයට අදාළව දිනේෂ් ෂාස්ටර් පැදවූ බව කියන මෝටර් රථයේ විද්‍යුත් දත්ත පරීක්ෂා කිරීමට ද, ඔහු පරිහරණය කළ ජංගම දුරකතනය පරීක්ෂා කිරීම මෙන් ම විශේෂයෙන්, සීසීටීවී කැමරා දර්ශන දැඩි පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන සිදුකරන නිලධාරීන් විසින් මේ වන විට පියවර ගනු ලැබ ඇත.



ඔහු ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිව ම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කළේ ය.කොළඹ අංක 2 දෙක අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන ගේ නියෝග මත ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී රූල් හක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ගේ කුරිරු සහ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශන වල ප්‍රගතිය විමසා බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත ඊයේ පෙරවරුවේ කැඳවා තිබිණ.

දිනේෂ් ෂාෆ්ටර් ගේ කුරිරු ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් දී ඇති ඇමතිවරයා,  මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි එහිදී පොලිසිය වෙත නියෝගකර තිබිණ.