ඇහැළියගොඩ, මෝරගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පෙරේදා (28දා) පැවති සංගීත සැණකෙළියක් අතරතුර සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත හදිසියේම ජීවිතක්‍ෂයට පත්වූ අහඹු සිදුවීම මේ වනවිට ක්ෂෙත්‍රයට කම්පනයක් ඇති කර තිබේ.
දින 15ක් පුරා පැවැත්වෙන 'අවුරා සංගීත' සැණකෙළියේ 10 වැනිදා වූ ඊයේ එම ප්‍රසංගය සඳහා සහභාගි වූ සංගීත කණ්ඩායම් තුනකින් එකක්  වූ ජනප්‍රිය සන්ෆලවර් සංගීත කණ්ඩායම සුපුරුදු රිද්මයට සංගීත ලෝලීන් පිනවමින් ප්‍රසංගය හැඩ ගන්වමින් සිට රාත්‍රී ආහාර ගැනීම සඳහා සූදානම් වූ මොහොතේ කණ්ඩායම් ලීඩ් ගිටාර් ශිල්පියා ලෙස කටයුතු කරන චලන එකවරම සිහිසුන්ව ඇද වැටී ඇත.



එම අවස්ථාවේ සැණෙකින් ක්‍රියාත්මක වූ පිරිස් චලනව ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ඒ අවස්ථාව වනවිටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරයා පවසා තිබේ. වසර 10ක් පමණ කාලයක සිට සන්ෆලවර් කණ්ඩායමට සම්බන්ධ වී කටයුතු කළ 36 හැවිරිදි චලන මෑතකදී විවාහ වූ අයෙකු බවත්, ඔහුට වයස අවුරුදු එකහමාරකක පමණ දරුවකුද සිටින බවත් කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පී නෙල්සන් වාස් මහතා සඳහන් කළේය. සිය සහෘදයාගේ දේහය රෝහලෙන් රැගෙන යාම සඳහා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සමග ඇහැළියගොඩ ජනප්‍රිය නිවේදක කිත්සිරි ඇහැළියගොඩ ඇතුළු කලාකරුවන් රැසක් රෝහලේ රැඳීසිටින අයුරු දක්නට ලැබිණි.

අනුර ජයසේන