egg-chicken-chortage

කුකුල් ගොවිපළවල්වලට අවශ්‍ය මවු සතුන් නොමැති වීම නිසා බිත්තර හිඟයකට අමතරව මේ වන විට  කුකුල් මස් හිඟයක්ද ඇතිවෙමින් තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින කුකුල් මස් හිඟය නිසා රුපියල් 1,000කට අලෙවි වූ කුකුල් මස් කිලෝවක මිල ඊයේ (15දා) දිනයේ රුපියල් 1,150ත්, රුපියල් 1,200ත් අතර මුදලක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

මවු සතුන්ගේ හිඟය නිසා කුකුළු පැටවෙකුගේ මිල රුපියල් 500ක් දක්වා ඉහළ ගේස් තිබෙන බවත්, මේ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වැසී ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ගොව්පළවලින් රටේ බිත්තර අවශ්‍යතාවෙන් 40%කට වැඩි ප්‍රමාණයක් ලබාදුන් බවත්, පවතින අර්බුදය නිසා මේ වනවිට කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපළ හිමියන් ලබා දෙන්නේ රටේ බිත්තර අවශ්‍යතාවෙන් දිනකට 10%ක පමණ ප්‍රමාණයක් බවත් හෙතෙම සඳහන් කළේය.දෛනික කුකුල් මස් අවශ්‍යතාවෙන් 30%ක් කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපළ හිමියන් විසින් ලබාදුන් බවත්, එහෙත් එම ප්‍රමාණය මේ වනවිට 20%ක් දක්වා අඩු වී තිබෙන බවත්, මීට අමතරව ඉදිරියේදී මෙම ප්‍රමාණය තවදුරටත් අඩුවන බවත් නිරුක්ෂ කුමාර මහතා පවසා සිටියේය.පවතින තත්ත්වය තුළ කුකුල් මස් හා බිත්තර වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ මහා පරිමාණ ගොවිපළ හිමියන් හා සමාගම් විසින් පමණක් බවත්, මේ නිසා කුකුල් මස් හා බිත්තර හිඟයක් ඇතිවී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.



පවතින හිඟය නිසා කුකුල් මස් මිල නැවත වතාවක් ඉහළ යමින් තිබෙන බවත්, මීට අමතරව බිත්තර හිඟයක්ද ඇතිවී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. මේ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපළ හිමියන්ට හා ස්වයං රැකියාවක් ලෙස කුකුල් ව්‍යාපාරවල නිරත පිරිස්වලට අවශ්‍ය මවු සතුන් රජයේ ගොවිපළවලින් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ආහාර සුරක්ෂිතතා කමිටුවෙන්ද ඉල්ලීමක් කළ බවත් නිරුක්ෂ කුමාර මහතා පැවසීය. කුඩා හා මධ්‍ය පරිමාණ කුකුල් ගොවිපළ හිමියන්ගේ ව්‍යාපාර ශක්තිමත් වුවහොත් බිත්තර හා කුකුල් මස් මිල සැලකිය යුතු මිලකින් අඩුවන බවත්, එවන් තත්ත්වයක් ඇතිවුවහොත් බිත්තර සඳහා පාලන මිලක් අවශ්‍ය නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

 එච්.අයි. භූෂාර