club-benz-threewheel-accident

සෙනසුරාදා (10) උදෑසන කාලයේ කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලු පාර, කොල්ලුපිටිය කාගිල්ස් බැංකුව ඉදිරිපිට මාර්ගයේදී බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ බෙන්ස් වර්ගයේ කාර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ගමන් කරමින් සිටි ත්‍රී රෝද රථයක පසුපස ගැටී අනතුරක් සිදුවිය. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වූ කහතුඩුව,

පොලිස්ගස්මවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බෙන්ස් වර්ගයේ මෝටර් රථය පැද වූ රියදුරු අනතුරින් පසු පලා ගොස් ඇති අතර, අනතුර සිදු වන අවස්ථාවේ කාර් රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයකු සිට ඇති බවත්, වයස අවුරුදු 29 හා 31 වයස් වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බවත් වාර්තා විය.
කාර් රථයේ සිටි අනෙක් දෙදෙනාගෙන් කොල්ලුපිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර මොවුන් රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවට පොලිසිය සැකකරනු ලබයි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම රිය අනතුර රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකලිමත් රිය ධාවනය හේතුවෙන් සිදු වී ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර කාර් රථ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.