මෙරට වායු ගෝලයේ තිබෙන දූවිලි අංශු ප්‍රමාණය පසුගිය සතියේ ඉතාම ඉහළ මට්ටමක පැවතිනි. එහි බලපෑම් ක්‍රමයෙන් පහව යන තත්ත්වයක් පැවතියත්, එය අඩු වැඩි වෙමින් ඉදිරියටත් බලපාවි යැයි විශේෂඥයන් සදහන් කරනු ලබනවා. ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පෙරේදා (11දා) සොඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය. එහිදී පරිසර අමාත්‍යාංශයේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක මහතා පවතින තත්ත්වය පිළිබද මෙලෙස අදහස් දැක්වීය.
මේ වෙද්දී අපේ වායුගෝලය යම්කිසි නුසුදුසු තත්ත්වයකට පත් වී තිබෙනවා. මෙය මේ වර්ෂයේ පමණක් ඇති වූ තත්ත්වයක් නොවෙයි. අපි 2019 වර්ෂයේ සිට නිරීක්‍ෂණය කර තිබෙන දෙයක් තමයි නොවැම්බර් - දෙසැම්බර් මාසවල සාමාන්‍යයෙන් වායුගෝලයේ පවතින අවලම්භිත අංශුවල වැඩි වීමක් තිබෙන බව. නමුත් මේ වර්ෂයේ මේ තත්ත්වය වඩාත් ඉහළ ගොස් අහිතකර තත්ත්වයක් අපට දකින්න ලැබුණා.
එයට ප්‍රධාන වශයෙන් හේතු වුණේ සුළි කුණාටු තත්ත්වයයි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ තත්ත්ව මැනීම සඳහා විශේෂිත උපකරණ දෙකක් සවි කර තිබෙනවා මහනුවර හා බත්තරමුල්ල ප්‍රදේශ දෙකේ. මේවා ඉතාම සංවේදී උපකරණ. මේවාට අමතරව යාපනය, අනුරාධපුර, කුරුණෑගලත් අපි වායු තත්ත්වයන් මනින උපකරණ සවි කර තිබෙනවා. මේවායෙන් අපට නිරීක්‍ෂණය වූ දෙය තමයි පසුගිය 08වැනිදා විශාල වශයෙන් වාතයේ අවලම්භිත අංශුවල වැඩි වීමක් තිබෙන බව.
මේ අවලම්භිත අංශු මයික්‍රෝන 2.5 හා මයික්‍රෝත 10 කියන ප්‍රමාණ තමයි මිනුම් කරන්නේ. මෙයින් මයික්‍රෝන 2.5 කියන එක අහිතකරයි. 10වැනිදා පමණ වනවිට යම් ආකාරයකට මේ තත්ත්වය අඩු වෙමින් පැවතුනා, මේ වෙද්දී අපි සතුටුදායක තත්ත්වයක් දකිනවා. නිරීක්‍ෂිත කරුණු අනුව අපි හිතනවා මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙලා යයි කියලා. නමුත් අපි ඉදිරියටත් මේ තත්ත්වය නිරීක්‍ෂණයට ලක් කරනවා. මධ්‍යම පරිසර අධිකාරිය විසින් මහජනතාවට කරන දැනුම්දීම තමයි මේ තත්ත්වය ඇතැම් ආයතන විසින් ඉතාම භයානකයි කියලා ජන ජීවිතය අඩාළ කරවන ආකාරයට ප්‍රකාශ නිකුත් කරන බව දැක්කා. එය සිදු නොවිය යුතුයි. විශේෂඥ දැනුම ඇති අය නිකුත් කරන පණිවිඩ පමණක් විශ්වාස කරන්න.
අපට මේ ප්‍රශ්නසහගත වායුව ආවේ ඉන්දියාව පැත්තේ සිට නිසා අපි අනුමාන කරනවා මෙය ඉන්දියාවෙන් ආවේ කියලා. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේදී ඔවුන් අස්වනු නෙළීමෙන් පසු අවශේෂ ගිනි තැබීම් සිදු කරනවා. ඒ අනුව සැහැල්ලු අංශු සුළඟත් සමග අපගේ රට පැත්තට ආවා කියලයි විශ්වාස කරන්නේ. වායු දූෂණය කියන්නේ එක රටකට සීමා වුණ දෙයක් නොවෙයි.
පරිසර තත්ත්වය නිසා ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් පිළිබද අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විදන ආයතනයේ නියෝජිත මාතර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන කුලතුංග මහතා මෙසේ පැවසුවේය.
වායු දූෂණය, ඒ හා බැඳුණු අහිතකර මානව බලපෑම් හා ඒවා අවම කර ගත හැක්කේ, කොහොමද යන කරුණු තුන පිළිබඳ මෙහිදී අවධානය යොමු කරන්න කැමැතියි. අසාමාන්‍ය ලෙස විෂ වායූන් හා දූවිලි අංශු වායු ගෝලයේ එකතු වීම වායු දූෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. වායු දූෂණයට විවිධ හේතු තිබෙනවා. නමුත් අපි වායු දූෂණය කොටස් දෙකකට බෙදනවා. එකක් ගෘහස්ථ වායු දූෂණය, අනෙක තමයි බාහිර පරිසරයේ වායු දූෂණය. වායු දූෂණය කියූ පමණින් අපි අදහස් කරන්නේ එළිමහන් පරිසරයේ වායු දූෂණයයි. නමුත් දර භාවිතය, ඝණ ද්‍රව්‍ය නිවෙස් තුළ දහනය ආදිය නිසා විශාල වශයෙන් ගෘහස්ථව වායු දූෂණයක් සිදු වෙනවා.
වායු දූෂණය ගැන කතා කළාම ශ්‍රී ලංකාව වගේ රටවල් ලොකු අවධානයක් ඒ ගැන දීලා නැහැ. නමුත් මෙය විශාල මහජන ගැටලුවක්. දියුණු රටවල් මේවා ගැන අවධානය යොමු කරලා ඒවායේ අවදානම්සහගත තත්ත්වයන් අඩු කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළවල් සිදුකරනු ලබනවා. වායු දූෂණය අපට මනින්න පුළුවන්. වායු තත්ත්වයේ ගුණාත්මකභාවය අපට මනින්න පුළුවන්. ඒ අනුව දූවිලි අංශුවල සාන්ද්‍රණය අනුව අපට ගණනය කරන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වායු තත්ත්ව දර්ශකය (air qulity index) තිබෙන්න පුළුවන් 50ට අඩු සංඛ්‍යාවකයි. 50-100ත් අතර තිබෙනවා නම් අපි කියනවා අතරමැදි වායු දූෂණ තත්ත්වයක් කියලා. 100ට වඩා මේ අගය වැඩි වුණාම අපට අහිතකර බලපෑම් ඇති විය හැකියි. 100-150ත් අතර මේ අගය තිබුණම විශේෂයෙන් සංවේදී පුද්ගලයන්ට අහිතකර තත්ත්ව ඇති විය හැකියි. මේ අගය 150ට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන් අහිතකර ප්‍රතිඵල ඇති වෙනවා.
අපේ රටේ පහුගිය සතියේ මේ අගයන් 200ත් 250ත් අතර අගයකින් වාර්තා වුණා. මේක තාවකාලික දෙයක් වුණත් වායුවේ ගුණාත්මක බව පහළ වැටුනම මානව සෞඛ්‍ය බලපෑම් ඇති වෙනවා. මේ මානව සෞඛ්‍ය බලපෑම මෘදු රෝගා බාධාවල සිට භයානක රෝග වර්ධනය දක්වා සිදුවිය හැකියි. විශේෂයෙන් පෙණහලු ආශ්‍රිත රෝගාබාධ ගැන කතා කළොත් මේ වායු බලපෑම නිසා විෂ වායු හා දූවිලි අංශු ආශ්වාස කළාම රෝග කිහිපයක් ඇති විය හැකියි. ඒ අනුව කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාව, පීනස වැනි භයානක නොවන රෝග තත්ත්ව ලෙස පටන් අරන් නිමෝනියාව දක්වා වර්ධනය විය හැකියි. දූවිලි අංශුවලට පුළුවන් විෂබීජ රැගෙන යන්න. විශේෂයෙන් බැක්ටීරියා වෛරස් වගේ විෂබීජ දූවිලි අංශු මගින් රැගෙන යන්න පුළුවන්. මේ නිසා නිව්මෝනියාව වැනි භයානක රෝගත් ඇති විය හැකියි. ප්‍රතිශක්තිකරණය අඩු වගේම නිදන්ගත පෙණහලු රෝග තිබෙන අයගේ රෝගී තත්ත්ව වර්ධනය විය හැකියි.
මීළඟට කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායුවලට දීර්ඝ කාලීනව මුහුණ දුන්නොත් හෘද රෝග ඇති විය හැකියි. මේ දූවිලි අංශුවලට පුළුවන් රුධිරයට එකතු වෙන්න. ඒ හරහා හෘදයාබාද, අංශභාගය වැනි භයානක තත්ත්ව දක්වා මේ ප්‍රශ්නය දිවෙන්න පුළුවන්. නමුත් අපි කියන්න ඕන මේ පවතින තත්ත්වය තාවකාලික ප්‍රශ්නයක් නිසා බිය විය යුතු නැති බව. මේ ඇති වූ තත්ත්වය හදිසියේ ඇති වූ දෙයක්. නමුත් අපි මෙවැනි අහිතකර තත්ත්ව අවම කර ගත යුතුයි. එසේ නම් අපි කියන්න ඕන අපේ අනතුරු දායක ඛාණ්ඩ අදුරගත්ත අවශ්‍යයි. ඒ අනුව කුඩා දරුවන්, වැඩිහිටියන්, පෙණහලුවල නිධන්ගත රෝගීන්, හෘද රෝගීන්, ගැබිනි මවුවරුන් යන අය වැඩි පුරම අසනීපවලට ගොදුරු වෙනවා. මේ අනතුරුදායක තත්ත්වයෙන් මිදෙන්න මුහුණු ආවරණ පැලඳීම ඉතාම සුදුසුයි. ඒ අනුව දූවිලි අංශුවලින් ආරක්‍ෂා වෙන්න හොදම මුව ආවරණ ලෙස සඳහන් කළ හැක්කේ, KN95 හා N95 යන මුව ආවරණ ද්විත්වය. නමුත් තිබෙන ඕනෑම මුව ආවරණයක් පැලඳීම මේ අවස්ථාවේ ඉතා වැදගත්, විශේෂයෙන් නොවැම්බර්, දෙසැම්බර් හා ජනවාරි කියන මාස තුන ඉතා වැදගත්. මේ මාස තුනේදී තමයි වෛරස් කිහිපයක්ම පැතිර යන කාල සීමාව.
ඉන්ෆ්ලුවෙන්සා, Respiratory syncytial වෛරසය හා කෝවිඩ්-19 වෛරස් එකත් දැන් පැතිරෙමින් පවතිනවා. ඒ නිසා විෂ දුමට නැත්නම් මේ දූවිලි අංශුවලට පුළුවන් එම වෛරස් සෑම තැනටම අරගෙන යන්න. ඒ අනුව දූවිලි අංශුවලින් වගේම වෛරස්වලින් ආරක්‍ෂා වෙන්නටත් මුව ආවරණ පැලඳීම මේ අවස්ථාවේ ඉතාම සුදුසුයි. දෙසැම්බර්, ජනවාරි කාලය උත්සව සමය නිසා බොහෝ දෙනා එළිමහනට යනවා.
නමුත් මේ පවතින තත්ත්වය නිසා එළිමහනට නොයනවා නම් හොදයි. මීළගට පාසල් දරුවත් මෙම දූවිලි අංශු සහ විෂ වායු ආශ්වාස කිරීම තුළින් විවිධ ආසාත්මිකතා හා රෝග ලක්‍ෂණ හා රෝගවලට ගොදුරු විය හැකියි. ඒ නිසා මේ කාලසීමාවේ පන්ති කාමරවල දරුවන් රඳවා ගන්නවා නම් හොදයි. ක්‍රීඩා කටයුතු අවම කරනවා නම් හොඳයි කියලා කියන්න පුළුවන්. මීළඟ කාරණය තමයි ඉන්ෆ්ලුවෙන්සා මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා ප්‍රතිශක්තිකරණය අඩු අය, හෘද රෝගීන්, නිධන්ගත පෙණහලු රෝගීන් ඉන්ෆ්ලුවෙන්සා ආරක්‍ෂාවට ලබාදෙන එන්නත ලබාගැනීමට හැකි නම් ඉතාම හොදයි.
තව දෙයක් තමයි දුම්පානය කරන්නන්ට මේ විෂ වායු හා දූවිලි සහිත වායුවලින් සිදුවන හානිය ඉතාම වැඩියි. ඒ නිසා පුළුවන් නම් දුම් බීමෙන් ස්ථිරව ඉවත් වෙන්න. එසේ නොහැකි නම්, මේ කාලසීමාවේ වායු තත්ත්ව දර්ශකය හොඳ අතට හැරෙනකන් දුම් බීමෙන් තාවකාලිකව හරි ඉවත් වෙන්න. මීළඟට අපේ ගෙවල්වල මදුරු දඟර පත්තු කරනවා. මේ මදුරු දඟර පත්තු කිරීමෙන් පිටවන PM2.5 දූවිලි අංශු සමාන වෙනවා දුම්වැටි 100ත් 150ත් අතර පිටවෙන දූවිලි අංශු ප්‍රමාණයට. මේ සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ දත්ත තිබෙනවා. නමුත් අපට වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණයයි දුම්වැටියක පවතින දූවිලි අංශු ප්‍රමාණයයි මැනලා සංසන්ධනය කරන්න අමාරුයි. අවසාන වශයෙන් මේ තත්ත්වය තාවකාලික තත්ත්වයක් වුණත්, මෙය ඉතාම හොඳ අවස්ථාවක් වායු දූෂණය සම්බන්ධව අවධානය දිගින් දිගටම යොදවන්නට, විශේෂයෙන් වායු දූෂණය වැළැක්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකට යෑමේ අවශ්‍යතාවක් මතු වී තිබෙනවා.
නදීශානි පතිරණ
0 Comments