corruption-revealed

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට වැඩපොළක්, නේවාසිකාගාරයක් සහ ආපන ශාලාවක් ඉදිකිරීම සඳහා උපදේශන ගාස්තු ලෙස රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතත් එම ව්‍යාපෘති ආරම්භ කිරීමට (2020 වසර වන විටත්) කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 

මෙම ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කෙරුණේ 2017 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් අනුවය. ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 92 කට වැඩි මුදලක් ප්‍රතිපාදන ලෙස අනුමත කර තිබූ බව ද එහි සඳහන් වේ.

ඉදිකිරීම් සඳහා අයවැයෙන් ද 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා රුපියල් කෝටි 28 කට වැඩි මුදලක් වෙන්කර දී තිබුණු අතර උපදේශක ගාස්තු ලෙස පමණක් මින් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ. මේ අතර විශ්ව විද්‍යාලයේ පීඨ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පෞද්ගලික ආයතනයකට රුපියල් එක්කෝටි හතළිස් පන්ලක්ෂයක පමණ මුදලකට 2016 වර්ෂයේ දී ප්‍රදානය කර තිබුණු අතර දින අටක දී වැඩ අවසන් කරන බව දන්වා 2019 සැප්තැම්බර් 12 වැනි දා අත්තිකාරම් ලෙස රුපියල් විසිනව ලක්ෂයකට වැඩි මුදලක් ලබා ගෙන තිබූ බව ද එහි සඳහන් වේ. එසේ අත්තිකාරම් ලබාගෙන තිබුණ ද 2020 වර්ෂය අවසානය දක්වාම වැඩ අවසන් කර නොතිබුණු බව ද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.



මේ සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව ද විගණනයට පැහැදිලි නොකෙරුණු බව වාර්තාවේ සඳහන් වේ.  මේ අතර පශ්චාත් උපාධියක් හැදෑරීම සඳහා විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන තිබූ ගුරුසහායකවරයකු එම අධ්‍යයන නිවාඩු අවසන් කර 2012 වර්ෂයේ ජුනි මස 30 වැනිදා සිට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් 2013 වසරේ සිට ඔහු සේවය හැර ගියා සේ සලකා කටයුතු කර තිබූ නමුත් ඔහුගෙන් අයවිය යුතු රුපියල් පහළොස් ලක්ෂයක බැඳුම්කර වටිනාකම අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ.  විශ්වවිද්‍යාලයේ සම්පත් සකසුරුවම් ලෙස කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස එම කාලසීමාවේ දී අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කරමින් භාවිත කර නොමැති බව ද වාර්තාවේ දැක්වේ. මේ තොරතුරු සඳහන් වන්නේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
සුජිත් හේවාජුලිගේ