dehiwala-thief-nabbed

දෙහිවල සුමුදු රාජපක්ෂ මාවතේ හා කව්ඩාන යන ප්‍රදේශවල ජාත්‍යන්තර පාසල් දෙකක් බිඳ ඒවායේ තිබූ රුපියල් ලක්ෂ විසි පහකට අධික වටිනා පරිගණක, ලැප්ටොප්, එල්.ඊ.ඩී.ටී.වී. යන්ත්‍ර, ටැබ් යන්ත්‍ර ඇතුළු දේපළ සොරා ගන්නා ලද දෙදෙනෙක් ඉකුත් (07) වැනිදා දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් කව්ඩාන ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු (25) හා (42) ක්ද වන අතර අධික ලෙස හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙලෙස දේපළ සොරා ගැනීම සිදුකරන බවටත් හෙළිවී ඇතැයි පොලීසිය කියයි.

මේ පිළිබඳව එම ආයතන මගින් සිදුකළ පැමිණිලි මත සී.සී.ටී. දර්ශන ද උපයෝගි කරගෙන සැකකරුවන් හඳුනා ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් වැඩි දුරට සිදුකළ විමර්ශනයේ දී සොරාගනු ලැබූ පරිගණක , ලැප්ටොප්, එල්.ඊ.ඩී.ටීවී යන්ත්‍ර, පරිගණක ටැබ් යන්ත්‍ර, ඇතුළු දේපළ බම්බලපිටිය  ප්‍රදේශයේ පරිගණක අලෙවිසැල් වලට හා ඒ අවට විවිධ පුද්ගලයනට ඉතා අඩු මිලට අලෙවිකර තිබිය දී පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයි ද පොලීසිය කියයි.


 එච්.එම්. ධර්මපාල