dilan-senanayake

පසුගිය අරගල සමයේ ප්‍රකටවූ හඬ කැවීම් ශිල්පියකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඩිලාන් සේනානායක මහතාගේ නුගේගොඩ, පාගොඩ පාරේ නිවසට පෙරේදා (14) රාත්‍රී 10ට පමණ කඩා වැදුණු නාදුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර පලාගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.ඩිලාන් සේනානායක මහතාගේ කලවා හා උරහිස ප්‍රදේශයේ ද එක් අතක අල්ල ප්‍රදේශයේද කැපුම් තුවාල දක්නට ඇතැයි පොලිසිය කියයි.

ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඔහුට මෙසේ කර පලා ගොස් ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

පලාගිය සැකකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත. ඩිලාන් සේනානායක මහතාට පහරදීමට නාඳුනන පුද්ගලයන් දෙදෙනා පැමිණි ත්‍රිරෝද රථය හඳුනාගැනීමට ඒ අවට ප්‍රදේශයේ නිවාසවල සීසීටීවී කැමරා පරීක්ෂාවට ලක් කරමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය