former-vice-chancellor-of-the-peradeniya-university-assaulted

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ඔහුගේ නිල නිවස අසලදී සරසවියේ සිසුන් පිරිසක් විසින් පහර දී තිබේ.
විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී සිදුවූ මෙම පහරදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් මහාචාර්ය සේනාරත්න රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.
හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයා මෙම සිදුවීම නිසා තුවාල ලබා රෝහල් ගතකර තිබේ.



පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇති බවය.

අනතුරුව ඇති වූ ආරවුල දුරදිග යාමෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් අතුල සේනාරත්න මහතා රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවස ද වටලා පහර දී අලාභහානි සිදුකර ඇති බව පොලීසීය සඳහන් කළේය.

පසුව පේරාදෙණිය පොලීසිය එම ස්ථානයට පැමිණ ගැටුම සමථයට පත්කර පිරිස විසුරුවා හැර තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ අතුල සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.



පහරදීමෙන් අතුල සේනාරත්න මහතාගේ බිරිඳ සහ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.