gamini-lokuge-piliyandala

පිළියන්දල නගරය මධ්‍යයෙන් පොදු ප්‍රවාහන බස් රථ ධාවනය ආරම්භ කිරීම සහ එම පොදු ප්‍රවාහන බස් රථ ධාවනය ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (30) පැවැත්වීමට සූදානම් කර තිබූ සමාරම්භක උළෙල ආරම්භවීමට පැය කීපයක් තිබියදී හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අත්හිටුවා තිබේ.  එම වැඩසටහන වෙනුවෙන් නගර මධ්‍යයේ ඉදිකළ බස් නැවතුම්පොළ දෙක මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඉවත් කරගෙන ගොස් තිබේ.  එහි සමාරම්භක උත්සවය ජනාධිපති ආරක්‍ෂක කටයුතු උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල පැරණි බස් නැවතුම්පොළ භූමියේදී ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබුණි.



නව බස් නැවතුම්පොළට ජාලියගොඩ කැස්බෑව පාරෙන් වසර තුනක කාලයක සිට බස් ධාවනය කිරීමෙන් පිළියන්දල නගරය පස්වරු වන විට ජනශූන්‍ය තත්ත්වයට පත්වීමෙන් පිළියන්දල නගර මධ්‍යයෙන් බස්රථ ධාවනය නොකිරීම නිසා ව්‍යාපාර කඩාවැටීමෙන් වෙළෙඳසැල් වසා දැමීමේ තත්ත්වයක් උද්ගත විය. මෙම තත්ත්වයෙන් පාසල් දරුවන් ඇතුළු ජනතාව මුහුණ දෙන දුෂ්කරතාව පිළිබඳව ජනාධිපති වෘත්තිය සමිති සබඳතා අංශය වෙත ලිඛිතව දැනුම්දීමෙන් පසුව සාමූහික තීරණයක් අනුව පිළියන්දල නගරයේ අලුතින් බස් නැවතුම් පොළ දෙකක් ස්ථාපිත කර නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ඊයේ (30) ආරම්භ කිරීමට නියමිතව තිබිණි.



පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමක දී පැවැසුවේ පිළියන්දල කැස්බෑව සංවර්ධන කටයුතු සැලසුම් තමන්ගේ තනි තීරණයක් නොවන බවත් බස් නැවතුම්පොළ සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ඉදිකරන විට වෙළෙඳ සංගමය විරුද්ධ වුවත් බහුතර මහජනයාගේ හිත සුව පිණිස එම ඉදිකිරීම් කළ බවත්ය.  මතු වූ දැඩි දුෂ්කරතා පිළිබඳව ජනාධිපති වෘත්තිය සමිති සබඳතා අංශය වෙත ලිඛිතව දැනුම් දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් 13 වැනිදා ගනු ලැබූ සාමූහික තීරණයක් අනුව පිළියන්දල නගරයේ බස් රථ ධාවන සැලැස්මක් ඇති කිරීමට තීරණය කළ බව පිළියන්දල වෙළෙඳ සංගමයේ සභාපති නන්දලාල් ජයසුන්දර මහතා පැවසීය.


බිමල් ශනමන් ජයසිංහ