හිසරදයක් නැහැදුණ කෙනෙක් අපි අතර ඇත්තේම නැති තරම්. ලොකු කුඩා භේදයක් නැතිව මේ විදිහට හිසරදය හැදුණෙ ඇයි කියල මේ දිනවල විමසන අය අතර ඔබත් ඉන්නා බවට රහසක් නැහැ. බොහෝ දෙනෙක් හිස ඇම්ම වෙනුවෙන් වේදනානාශක ගිල දමන්න පුරුදුව සිටියත්, හිසරදයට හේතුව හොයන අය නම් දැකගන්නට බැරි තරම්. හිසරදය කියන්නේ හැමවිටම වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් නොවුණත්, හිසරදයට එවැනි වෙනත් රෝගයක රෝග ලක්ෂණ ලෙසත් හැසිරෙන්නට පුළුවන්. මේ නිසා ක්ෂණික සුවය පතා ලබාගන්නා වේදනානාශකවලින් වේදනාව යටපත් වුවත්, වේදනාව ඇතිකිරීමට මුල්වූ හේතුව යටපත් නොවන බව අප හැමවිටම දැනගෙන සිටිය යුතුයි. සමහරුන්ගේ ඇස්වලට බලපානු ලබන ස්නායුවල තත්ත්වයන් නිසා හිසරදය එහි ලක්ෂණයක් ලෙස මතුවන්නට හැකියි.

එසේ වීමට ඇති ඉඩකඩ සලකා බැලූ පසු එය වේදනානාශකයක් හරහා මද දුරකට පාලනය කරගන්නට පුළුවන්.

ඒ වුණත් එයින් වේදනාව මතුවීමට බලපෑ රෝග තත්ත්වය යටපත් වී නොයන නිසා නැවත නැවත ඒ තත්ත්වය ඇතිවන්නට පුළුවන්. එහිදී ඔබේ ඇස් පරීක්ෂා කරන අක්ෂි වෛද්‍යවරයාගේ නිගමනය අනුව ඔබට ඇස් කන්නාඩි පලඳින්නට කිවහොත්, එයින් ඔබේ හිසරදය ඇතිවීම පාලනය කරගන්නට හැකිවේවි. මේ නිසා හිසරදය වෙනුවෙන් කොට්ටය මාරු කර පිළියම් සොයන්නට කලින් මේ කරුණු පිළිබඳ දැනුම්වත් වෙන්න.


හිසරදය යනු කෙලින්ම රෝග තත්ත්වයක් නිසා ඇතිවන්නක්ද?

සමහර රෝගවල මූලික ලක්ෂණයක් ලෙසත්, සමහර විට වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙසත් මතු විය හැකි බව අප හිසරදය සම්බන්ධයෙන් මුලින්ම දැන සිටිය යුතු සරලම හේතු කීපයයි. නමුත් හිසරදයක් ඇතිවීමට තුඩුදෙන ලක්ෂණ ඇසුරින් ඒවා දිගුකාලීනව පවතින්නේද,වරින් වර පවතින්නේද, එසේත් නැතිනම් යම් යම් හේතු නිසා පවතින්නේද යන්න අප මුලින්ම විමසා බැලිය යුතු වන්නේ අප වෛද්‍යවරයා වෙත එළැඹෙන කල රෝගය සම්බන්ධ විස්තර පැවසීමට එය මහත් ප්‍රයෝජනයක් දක්වන බැවිණි. බොහෝ විට හිසරදය සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි කාන්තා පාර්ශ්වයෙන් වීමට වැඩි ඉඩකඩක් පවතිනු ඇත. මන්ද කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වයද ඔවුන්ට ඇතිවන හිසරදයට හේතුකාරක සපයන්නක් වීමට ඇති ඉඩකඩ වැඩි බැවිණි. සාමාන්‍යයෙන් කාන්තාවකට සිය මාසික ඔසප් කාලය ඇතිවන විට සහ ගර්භණි අවස්ථාවේ පසුවන විට අප මුලින් කියුවාක් මෙන් මෙම ඊස්ට්‍රජන් හෝර්මෝනයේ අඩු වැඩි වීම් හේතුවෙන් තද හිසරදයක් ඇතිවීමට ඉඩ තිබේ. බොහෝ විට ඔසප් කාලය තුළ කාන්තාවන් මේ අධික හිසරදය සම්බන්ධයෙන් වැඩි පැමිණිල්ලක් ඉදිරිපත් කරනු දකින්නට, අසන්නට ලැබේ. එසේම අධික ලුණු භාවිතාව තුළින්ද මෙසේ හිසරදයක් දැනිය හැකිය.

උදාහරණයක් ලෙස ඔබ මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් ඔබ කවුරුත් දන්නා පරිදි MSG යෙදූ ආහාරයක් ලබාගැනීමෙන් පසුව මෙවැනි හිසරදයක් ඇතිවන්නේ නම්, එයට හේතුව එම රසායනිකයට සිරුර දක්වන ප්‍රතිචාරයෙන් ඇති වූ හිසරදයක් බව වටහාගත හැකිය. අධික මානසික ආතතියද හිසරදය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි. අධික මානසික ආතතිය හේතුවෙන් සිරුරේ ඇතිවන රසායනික බලපෑම් මෙන්ම ආතතිය දරා ඉන්නට ඉන්නට එය දෙතුණ තෙගුණ බවක් මතුකිරීමද එයට හේතුවයි. බොහෝ විට ආර්ථික අපහසුකම් මෙන්ම ඒවාට විසඳුම් සොයා ගන්නට අපොහොසත් වීම යන කාරණා මත ආතතිය වැඩිවීමෙන් මේ කියන හිසරදය තව තවත්හත්සන්න වීමට ඇති ඉඩකඩ බොහෝය. අනෙක් කාරණය වනුයේ මත්පැන් භාවිතයයි. මත්පැන් යනු සිරුරට කෙසේවත් හොද ප්‍රතිඵලයක් ඇතිකරවන රසායනිකයක් නොවේ. එයින් මිනිස් සිරුරට ඇතිකරන රසායනික වෙනස්කම්වලින් සිරුර අඩපණ කිරීම, වමනය ඇතිකිරීම මෙන්ම මේ කියන ආතති තත්ත්වයන් තවදුරටත් වර්ධනය කිරීම හේතුවෙන් පීඩාකාරී ලෙස හිසරදයක් ඇති කරයි.



මීළඟ කාරණය වනුයේ කාලගුණ වෙනස්වීම්වලින් ඇතිවන බලපෑමයි. මෙකල මේ කියන කාරණය නිසා හිසරදය පිළිබඳ පැමිණිලි කරනෝ බහුලය. විශේෂයෙන් බෝ නොවන රෝගීන්ට පසුගියදා දූලි වළාවන් නිසා ඇති වූ පරිසර වෙනස්කම් විවිධ වූ රෝගාබාධයන් ඉස්මතු කිරීමට හේතු වූ බව පරිසරවේදීන් මෙන්ම වෛද්‍ය වෘත්තිකයන් විසින්ද අනතුරු අඟවා තිබූ බව ඔබට මතක ඇති. එමෙන්ම මෙකල දෙසැම්බර් මාසය වන විට වෙනදාට ඇතිවන ශීත කාලගුණික තත්ත්වය මදක් තීව්‍ර වීම හේතුවෙන් අධික ශීතල සමග එන ශ්වස්ත බලපෑම්ද හිසරදයට සම්බන්ධකමක් දක්වයි. ඇදුම, පීනස ආදී ශ්වසන ආබාධ සහිත අයට මෙකල මේ හිසරදය වඩාත් පීඩාකාරී තත්ත්වයක් ඇති කර ඇත්නම්, එයට හේතුව වඩාත් මේ දිනවල ඇතිවී තිබෙන කාලගුණික විපර්යාසයන් බව සනාථ වෙයි. බොහෝ විට කාලගුණික විපර්යාසයන් ලෙස අධික රස්නය, හිරුඑළිය මෙන්ම අධික ශීතල වායුගෝලයේ පීඩනය වැඩි වීම වැනි කාරණා මේ කියන හිසරදය ඇති කිරීමට ඇති ඉඩකඩ බොහෝය. එමෙන්ම සමහර ඖෂධද හිසරදය ඇති කිරීමට හේතුකාරක ඇති කරයි. ඔබ භාවිත කරන එවැනි ඖෂධයක් ඔබේ හිසරදය වැඩි කරන්නට හේතු වී ඇතැයි ඔබට හැගෙන්නේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයා සමග එය සාකච්ඡා කරන්න. නින්ද අඩු වීම නැතිනම් නිදි වැරීමද හිසරදයට එක එල්ලේම බලපානු ලබන හේතුවකි. එහෙයින් ඔබ රාත්‍රී නින්ද ගැන පැහැදිලි තීරණයක සිටින්න. රාත්‍රී නින්දට කලින් තේ, කෝපි යනාදී පානයන් භාවිත නොකරන්න.

ඔබ දිගු වේලාවක් පරිගණක තිරය, දුරකථන තිරය හෝ යම් සියුම් විද්‍යුත් ධාරා සමග ගැටෙන උපකරණ සමග ගැවසෙන්නේ නම්, එයද ඔබේ හිසරදයට බලපෑ හැකිය. එමෙන්ම කුසගින්නේ දිගු වේලාවක් සිටීමද මේ කියන හිසරදයට බලපානු ලබයි. සමහරු ආහාර පාලනයට යැයි කියමින් දිවා ආහාරයෙන් පසු රාත්‍රී ආහාර වේල ලෙස කිසිම ආහාරයක් නොගෙන පසුදා උදෑසන තෙක් ආහාර වරමින් දිගු කාලයක් නිහාරව සිටීම ඇතැම් විට උදෑසන අවදි වග් විට සිටම හිසරදය ඇතිවිය හැකියි. සමහරුන්ට මෙවැනි හිසරදයක් ඇති විට ඔක්කාරය ඇතිවී කහපාට සෙම සහිත දියරයන් වමනය වීමට හැකි අතර, සමහරු මෙය පිත් අමාරුවක් යැයි පවසන අවස්ථාද බහුලය. කෙසේ නමුත් හිසරදය ඇතිවීමට බලපානු ලබන්නේ ආහාර නොගෙන සිටීම පමණක් නොවේ. සමහර ආහාරද එසේ හිසරදය ඇතිවීමට බලපානු ලබයි. උදෑසන අවදි වන විටම ඇතිවන හිසරදය ඉරුවාරදය නොහොත් මිග්‍රේන් තත්ත්වයක් බව බොහෝ දෙනා දනිති.

එසේ මිග්‍රේන් යන තත්ත්වය ඇති අයට මේ කියන ආහාර නිසා ඇතිවන හිසරදය බොහෝ විට ඇතිවෙයි.

සාමාන්‍යයෙන් හිසරදය ඇතිකරන මිග්‍රේන් තත්ත්වයකදී බිත්තර, තක්කාලි, ලුණු හා කිරි ආහාර, පාන්, පැස්ටා, ඇඹුල් පලතුරු, රතු වයින්, චොක්ලට්, චීස්, රටකජු අදිය නිසා සමහරුන්ට හිසරදය වැඩි වෙයි. මෙවන් ආහාරයක් සඳහා හිසරදය වැඩි වන බව හඳුනාගත් විට එය අසාත්මික බව දැන හඳුනාගෙන එම ආහාරවලින් ඈත්වීම එම හිසරදය යම් තරමක් දුරට පාලනය කරගන්නට හේතුවකි. එමෙන්ම තමන්ගේ ඇවතුම් පැවතුම් ආදියෙන් හිසරදය ඇතිවීමට බලපෑමක් තිබේ යැයි හදුනා ගත්විට ඒවායින් ඈත්වීම හිසරදය පාලනය කර ගැනීමට උපකාරයකි. මඳ ආලෝකය ඇති තැනක සිට විවේක ගැනීම, දෑස්වල පෙනීම මද බවක් ඇත්නම් ඒ සදහා සුදුසු උපැස් යුවළක් පැලඳීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, කුසගින්නේ නොසිටීම, චීස්, කෝපි සහ මද්‍යසාර අඩංගු ආහාරවලින් වැළකීමට සිහිතබා ගන්න. හිසරදය කුමන හේතුවක් මත වුවත්, නිසි පරික්ෂාවකින් පසුව එය පාලනය කිරීමට තරම් සාර්ථක ඖෂධ වෛද්‍ය විද්‍යාව සතුව පවතී. ඔබේ වෛද්‍යවරයා හමුවී නිසි රෝග විස්තර පවසා, රෝග නිර්ණය කර අවශ්‍ය ඖෂධ භාවිතා කිරීමෙන් ඔබට හිසරදය හිසරදයක් නොවී පාලනය කරගත හැකිය.

 සටහන / නාලිකා රාජපක්ෂ