japan-dhaka-metro

බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිකළ එරට පළමු වැනි පාලම් මතින් දිවෙන මෙට්‍රෝ දුම්රිය මාර්ගයේ (MRT - Mass Rapid Transit) කිලෝමීටර් 20ක දුරකින් යුත් දුම්රිය මාර්ගයේ මුල් කොටස ඊයේ (29දා) දිනයේදී ජනතාව සදහා විවෘත විය. ඊට පෙර පෙරේදා (28දා) දිනයේදී එරට අගමැතිනී ෂෙයික් හසීනාගේ මූලිකත්වයෙන් එය නිල වශයෙන් විවෘත කිරීම සිදුවිය. මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අගමැතිතිය ඇතුළු 200කට ආසන්න පිරිසක් මෙම දුම්රියේ මංගල ගමන වෙත සම්බන්ධ වී තිබේ. ඩකා අගනුවර උත්තරාහි පිහිටි ඩියාබරී දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන මෙම Mass Rapid Transit මෙට්‍රෝ දුම්රිය අගාර්ගාඕන් දක්වා ධාවනය කෙරේ.



මෙම දුම්රිය මාර්ගය Line 6 ලෙස නම් කෙරී ඇත. දුම්රිය මාර්ගය මගින් ඩකා අගනුවර උතුරුදිග කලාපයේ පිහිටි රජයේ කාර්යාලය සහ රෝහල් සම්බන්ධ කරයි. විශේෂයෙන්ම ඩකා අගනුවර අධික මාර්ග තදබදය හේතුවෙන් දෛනිකව අහිමි වන සේවක පැය මිලියන 3.2ක ප්‍රමාණයක් රැකගැනීම වෙනුවෙන් මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් බඅදහස වී තිබේ. මෙම කාලය අහිමිවීම බංග්ලාදේශ ආර්ථිකය වෙත සෑම වසරකදීම ඩොලර් බිලියන ගණනින් පාඩු සිදුකරන බව ගණන් බලා ඇත. 2012 වසරේදී අනුමැතිය හිමිවුණු මෙම ව්‍යාපෘතිය සඳහා බංග්ලාදේශ රජය මගින් ඇස්තමේන්තු කර තිබූ වියදම ඩකා බිලියන 219.85ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.1කි. ඒ අතරින් ටකා බිලියන 165.95ක් එනම් ඩොලර් බිලියන 1කට ආසන්න මුදලක් ලබාදීමට ජපානය සිය ජ්යිකා (JAICA) ආයතනය හරහා කටයුතු යෙදීය.



එහෙත් පසුව බලධාරීන් මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගය මධ්‍යම දුම්රිය ස්ථානය හෙවත් කමලාපුර් හා සම්බන්ධ කිරීමත් සමග මෙම ව්‍යාපෘතිය සඳහා වන වියදම ටකා බිලියන 334.72ක් දක්වා ඉහළ යාම සිදුවිය. අගාර්ගාඕන්හි සිට මොට්ජිල් දක්වා වන මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2023 දෙසැම්බර් මාසයේදී පමණ අවසන් කිරීම සැලසුම වී තිබේ. ඉන් අනතුරුව මොට්ජිල් සිට කමලාපුර් දක්වා වන කොටස 2025 දී අවසන් කෙරෙන බව සදහන් වෙයි. මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග දකුණු ආසියාව තුළ මෙට්‍රෝ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන තෙවැනි රට බවටත් බංග්ලාදේශය ඉතිහාසයට එක්වෙයි.

මෙම කළාපය තුළ පළමු මෙට්‍රෝ දුම්රිය සේවාව ලෙස ඉන්දියාව 1984 දී කල්කටාවේදී මෙට්‍රෝ දුම්රිය සේවාවක් ඇරඹූ අතර, දැනට වසර දෙකකට පෙරාතුව පාකිස්තානයේ ලාහෝර් නුවර පළමු මෙට්‍රෝ දුම්රිය සේවාව ආරම්භ විය.මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගයට අමතරව ජපානය විසින් ඩකා අගනුවර තුළ තවත් නාගරික දුම්රිය මාර්ග දෙකක් සදහා මුදල් ලබාදීම සිදු කර තිබේ. ඒ අනුව මෙම දුම්රිය මාර්ග තුනම සම්පූර්ණවීමත් සමග ඒ හරහා  දිනකට එහා මෙහා රැගනෙ යන මගීන් සංඛ්‍යාව මිලියන දෙකක් වනු ඇතැයි ගණත් බලා තිබේ.