jessica-gagen-astronomy

මෙම වසරේ එංගලන්ත රූ රැජින (Miss England) ලෙස කිරුළු පලත් 27 හැවිරිදි ජෙසිකා ගාගෙන් ඉදිරියේදී අභ්‍යවකාශයට යාම සඳහා ගගනගාමිනියක ලෙස පුහුණුවීමේ බලාපොරොත්තුවකින් සිටින බව පවසයි. අද වනවිට අභ්‍යවකාශ ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවක ලෙස අධ්‍යාපනය හදාරමින් සිටින ඇය අනාගතයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කිරීමේ සිහිනයකින් පසුවන්නීය. විශේෂයෙන්ම අභ්‍යවකාශය වෙත යාම සම්බන්ධයෙන් ලොව කාන්තාවන් අතර තවදුරටත් පවතින බිය සහ සැකය තුරන් කරමින්, අභ්‍යවකාශය ජය ගැනීමේ හැකියාවක් කාන්තාවන්ටද පවතින බව යළි යළිත් ඒත්තු ගැන්වීම තමන්ගේ මෙම සිහිනයේ අපේක්ෂාව බවත් ඇය පවසයි.

ඒ අනුව යම් දිනෙක තමා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් එහි සේවය කිරීමත්,

එහි සිට ලොව දරුවන්ට අභ්‍යවකාශය පිළිබඳව දැනුම ලබාදීමත් ජෙසිකාගේ බලාපොරොත්තුව වී තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණු එංගලන්ත රූ රැජින තරගයේදී ඇය මෙලෙස කිරුළු පැලඳුවාය. ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගයේදී එංගලන්තය නියෝජනය කරමින් සහභාගිවීමටද ඇය සූදානමින් සිටින්නීය. ගගනගාමිනියකවීම පිළිබඳව වන ඇගේ මෙම සිහිනයත් සමග එතෙක් මෙතෙක් අභ්‍යවකාශ ඉතිහාසය තුළ අභ්‍යවකාශය වෙත යන ලොව පළමු වැනි රූ රැජින මෙන්ම නිරූපිකාව බවට පත්වීමටද ඇය නියමිතව තිබේ. ඒ අනුව ඇය ඉදිරියේදී විශ්වයේ රූ රැජින (Miss Univers) බවට පත්වෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පේසිකා අද වනවිට බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ උසස් උපාධිය සම්පූර්ණ කරමින් සිටියි. එසේම ඉදිරි වසර තුන ඇතුළතදී ඇය ගගනගාමිනියක බවට පත්වීමට ඉල්ලුම්පත්‍රද ඉදිරිපත් කර තිබේ. ඇය සඳහන් කරන ආකාරයට වැඩි වශයෙන් පිරිමින් සහභාගි වන ඉංජිනේරුවිද්‍යා ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ටද සාර්ථක විය හැකි බව පෙන්නුම් කිරීම සිය උත්සාහයේ අරමුණ වී තිබේ.

"මම බලාපොරෙත්තු වෙනවා එංගලන්ත රූ රැජින තරගය ජයග්‍රහණය කළා වගේම මගේ අභ්‍යවකාශ සිහිනයත් සැබෑවක් වේවි කියලා. එතකොට මට පුළුවන් ලෝකයේ ගැහැනු දරුවන්ටත් තමන්ගේ සිහින සහ ඉලක්ක වෙත යන්න පුළුවන් කියන දේ ඔවුන්ට ඔප්පු කරන්න.” ඇය පවසයි.



පේසිකා පාසල් සමයේදී වඩාත් ඇලුම් කර ඇත්තේ ගණිතය සහ විද්‍යාව යන විෂයන් වෙතය. එසේම ඇය ප්‍රථමවරට නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කර ඇත්තේ සිය වයස අවුරුදු 15දීය. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ සිය පියා රාජකාරි කරන ආකාරය බලාසිටීමෙන් ඇතිවූ ආසාව අනුව ඇයටද ඉංජිනේරුවරියක වීමට සිතක් පහළ වී තිබේ.

ඒ අනුව ඇය වයස අවුරුදු 24 දී සිය විද්‍යා උපාධිය ආරම්භ කර තිබේ. ඊට සමගාමීව ඇය නිරූපණ වෘත්තියේද නියැළී සිට ඇති අතර, සිය ඉංජිනේරු සිහිනය වෙත යන ගමනේදීම නිරූපිකාවක බවට පත්වීමේ සිහිනයද සාර්ථක කරගැනීමේ අවස්ථාව පවතින බව ඇය තරයේ විශ්වාස කළාය. පසුගිය අගෝස්තු මාසයේදී පැවැත්වුණු ලැන්කෂයර් ප්‍රාන්ත රූ රැජින තේරීමේ තරගයෙන් ජය ගැනීමට ජෙසිකා සමත් වූ අතර, අනතුරුව ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණු එංගලන්ත රූ රැජින තරගාවලියේ අවසන් වටය වෙත ඇය තේරී පත් වූවාය. ඒ අනුව බර්මිංන්ග්හැම් නුවරදී පැවැත්වුණු එංගලන්ත රූ රැජින තරගයේදී ඇය සිය රූ රැජින කිරුළ පැලඳුවාය.

"නිරූපණ ක්ෂේත්‍රය වගේම ඉංජිනේරු ක්ෂේත්‍රයත් අපිට බොහෝ අවස්ථාවන් උදා කර දෙනවා. මේ වෘත්තින් දෙකේදී මට හැම දිනකදීම වගේ ලොව පුරා විවිධ ආකාරයේ ව්‍යාපෘති වෙත සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ ක්ෂේත්‍ර දෙකේම පවතින සමානතාවන් මත තමයි මම මේ විදියට ඉංජිනේරුවිද්‍යාව තෝරා ගත්තේ.” යනුවෙන් පේසිකා සඳහන් කරයි.