කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ නිල කාර්යාලය එහි හිටපු අධ්යක්ෂවරයා විසින් මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ඉබි යතුරු දමා වසා දමනු ලැබූ අතර අලුතින් පත්ව ආ අධ්යක්ෂවරයාට රාජකාරි කටයුතු කිරීමට නොහැකි යැයි පවසා 29 දා සේවක පිරිසක් එහි ඉබි යතුර කපා ඉවත් කර නිල කාර්යාලයට ඇතුළු වූහ.කෑගල්ල හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට යම් චෝදනාවක් මත මීට ඉහතදී කුරුණෑගලට ස්ථාන මාරුවක් ලබා දී තිබූ අතර හිස් වූ පුරප්පාඩුවට වෛද්‍ය අසේල පෙරේරා මහතා පත් කරනු ලැබීය.
හිටපු අධ්යක්ෂවරයා මීට මාස දෙකකට පමණ ඉහතදී කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට පැමිණ අධ්යක්ෂ නිල කාමරයේ දොර වසා ඉබියතුරු දමා යතුර කෑගල්ල මූලස්ථාන පොලිසියට භාර දී ඇත.
අධ්යක්ෂ වෛද්‍ය අසේල පෙරේරා මහතාට සිය කාර්යාලයට ඇතුළත් වීමට මේ නිසා නොහැකි වූ අතර ඔහු අසල පිහිටි නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ කාමරයේ සිට රාජකාරි කටයුතු කරගෙන ගියේය.
කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් කෑගල්ල මූලස්ථාන පොලිසියට ගොස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක වීරසිංහ මහතා හමුවී අධ්යක්ෂ කාර්යාලය මාස දෙකකට වැඩි කාලයක සිට වසා දමා ඇති බවත් නව අධ්‍යක්ෂකවරයා නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ සිට සේවය කරන බවත් පවසා ඇත. එහිදී ස්ථානාධිපතිවරයා වෛද්‍යවරුන්ට පැහැදිලි කර දී ඇත්තේ පාලනාධිකාරියේ ප්‍රශ්නයක් බවත්, තමන්ට මේ සඳහා විසඳුමක් ලබා දිය නොහැකි බවත්ය.වෛද්‍ය කණ්ඩායම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට යලි පැමිණ සාකච්ඡා කර අධ්යක්ෂ කාර්යාලයේ ඉබි යතුරු ගලවා ඉවත් කිරීමට තීරණය කළේය.
එම තීන්දුවට අනුව සෞඛ්‍ය කාර්යාලයේ සේවක පිරිසක් ග්‍රයින්ඩරයක් ගෙන කපා ඉවත් කර කාර්යාලය ඇතුළු වූහ.
එහිදී වෛද්‍යවරයකු කියා සිටියේ දැනට අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ අසේල පෙරේරා මහතා බවත් ඉබි යතුරු දමා වසා ගොස් ඇති හිටපු අධ්යක්ෂවරයා කෑගල්ලෙන් කුරුණෑගලට මාරු කර යවා ඇති බවත්ය. පසුව කුරුණෑගලින් රත්නපුරයට මාරු කර ඇති බවත්, රත්නපුරයට සේවය වාර්තා නොකර කෑගල්ල කාර්යාලයට නැවත පැමිණ මීට මාස දෙකකට පමණ ඉහතදී ඉබි යතුරු දමා යතුර රැගෙන පොලිසියට බාර දී ඇති බවත් ඔවුහු කියා සිටියහ.
චමින්ද වැවතැන්න
0 Comments