උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 10,000 ක් දීමට නොහැකි නම් පන්සලේ හාමුදුරුවන්ගෙන් හරි එම මුදල ඉල්ලාගෙන එන ලෙස කෑගල්ල නගරයේ ජාතික පාසලක විදුහල්පතිවරයකු එම පාසලේ සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයකුට ඊයේ (21)දන්වා ඇතැයි වාර්තා විය.
කෑගල්ල නගරයට ආසන්න ගමක අඩු ආදායම්ලාභී පවුලක පිරිමි දරුවකු ඒ ආසන්නයේම පිහිටි ජාතික පාසලක ඉගනුම ලබමින් සිටින අතර මෙම ශිෂ්‍යයා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ එකක් ද බී සමාර්ථ පහක් ද සී සමාර්ථ තුනක් ද ලබාගෙන සමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වී තිබේ.මෙම ශිෂ්‍යයා එම පාසලේම උසස් පෙළ විභාගයට අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවේ දී රුපියල් 10,000ක ඇතුළත් වීමේ ගාස්තුවක් ගෙවන්නැයි විදුහල්පතිවරයා දන්වා ඇත.ශිෂ්‍යයාගේ මවුපියන් රුපියල් 10,000ක මුදල ගෙවීමට නොහැකි බව වසමේ ග්‍රාම නිලධාරිවරයාට දන්වා තම පවුලට රුපියල් 10,000 ක මුදලක් ගෙවිය නොහැකි බවත් අඩු ආදායම්ලාභී පවුලක් බවටත් ලිඛිතව ලිපියක් දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබිණි. ග්‍රාම නිලධාරිවරයා අඩු ආදායම්ලාභී පවුලක් බවට සනාථ කර ලිපියක් දී තිබුණු අතර එම ලිපිය ඊයේ (21) ශිෂ්‍යයා විදුහල්පතිවරයාට දීමට ගොස් තිබේ. ශිෂ්‍යයා විදුහල්පතිවරයාට ග්‍රාම නිලධාරිවරයා දී ඇති ලිපිය ඉදිරිපත් නොකර විදුහල්පතිවරයා ඉදිරිපිට සිටගෙන සිටින අවස්ථාවේ දී කෝ මුදල් යැයි ශිෂ්‍යයාගෙන් විදුහල්පතිවරයා විමසා ඇත.
එහිදී ශිෂ්‍යයා ග්‍රාම නිලධාරිවරයා දී තිබුණු ලිපිය දී මුදල් මවුපියන්ට දීමට නොමැති බව හිස නමා දන්වා තිබේ. එහිදී විදුහල්පතිවරයා ශිෂ්‍යයාට කියා ඇත්තේ මුදල් නොමැති නම් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් හරි ඉල්ලාගෙන පාසලට දෙන ලෙසය. ශිෂ්‍යයා නිවසට ගොස් විදුහල්පතිවරයා පැවසූ දේ සිය මවට දන්වා දිවගොස් සිය විහාරස්ථානය වන කෑගල්ල ඔලගන්කන්ද සාම විහාරාධිපති හිටපු අධ්‍යාපන අධ්යක්ෂ දීවෙල මහින්ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමියන්ට දන්වා තිබේ.
එහිදී අනුනායක හිමියන් ශිෂ්‍යයාට කියා ඇත්තේ අද (22) වැනිදා සිය මවට විද්‍යාලයට ගොස් විදුහල්පතිවරයා මුණගැසී කරුණු පැහැදිලි කර දෙන ලෙසත් එහිදී ද කාරණය සුබවාදීව ඉෂ්ට නොවුණහොත් තමන් වහන්සේ එම මුදල ශිෂ්‍යයාට ලබාදෙන බවය. මේ සම්බන්ධයෙන් කෑගල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ එම්.අයි.ඩී.ඩී.සී. ඉද්දමල්ගොඩ මහත්මියගෙන් විමසූ අවස්ථාවේ දී ඇය කියා සිටියේ දරුවන්ගෙන් මුදල් අය කිරීමට චක්‍රලේඛයක් මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කර නොමැති බවත් දරුවන්ගෙන් මුදල් ලබා ගැනීම නීති විරෝධී බවත්ය. නමුත් මෙම පාසල ජාතික පාසලක් බවත් යම් සොයා බැලීමක් සිදු කරන බවත් ඇය පවසා ඇත.
චමින්ද වැවතැන්න
0 Comments