kolpity-accident-updates

රාත්‍රී සමාජ ශාලා තුනකට ගොස් මත්පැන් පානය කළ බව කියන පිරිසක් රැගත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව කොල්ලුපිටිය ගාලු පාරේ ඇල්ප්‍රඩ් මාවතේ දී පෙරේදා (10) උදේ ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදු විය.
මෙහිදී ත්‍රිරෝද රථ රියැදුරු එම ස්ථානයේදීම මියගියේය.

 අනතුර සිදුවූ අවස්ථාවේ එම රථයේ විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවිකාවක ඇතුළු කාන්තාවන් තිදෙනකු සහ පිරිමි දෙදෙනෙකු ගමන්ගෙන ඇති අතර, අනතුරින් පසුව මෝටර් රථය එම  රියැදුරු ස්ථානයේම දමා පලාගොස් ඇති බව ද පොලිසිය පවසයි.


මාධ්‍ය ආයතන සේවිකාව සිය දරු දෙදෙනා සමග ඉකුත් 9 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලක් වෙත ගොස් ආහාර ගෙන දරුවන් දෙදෙනා එහි පුද්ගලයකුට බාර දී ඇයගේ යහළුවන් හා එක්වී මෝටර් රථයේ නැගී මේ ගමන ගොස් ඇති බව අනාවරණය වී ඇත. එදින සිට පෙරේදා අලුයම 6.00 පමණ දක්වා සමාජ ශාලා තුනකට ගොස් මත්පැන් පානය කර ඇති බවත්, ඔවුන් පෙරේදා උදේ 6.00 ට පමණ මත්පැන් පානය කිරීම සඳහා කොළඹ තරුපහේ හෝටලයකට ගමන් කරමින් සිටිය දී මෙම අනතුරු සිදුව ඇති බවත් පොලිසිය සඳහන්  කරයි.

මෙම  මෝටර්  රථය බම්බලපිටිය දෙස සිට කොටුව දෙසට ගාලුපාරේ වේගයෙන් ධාවනය වෙමින් තිබිය දී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක පිටුපස ගැටී ඇති අතර, පසුව පාරෙන් ඉවතට පැන ඒ අසල වෙළෙඳසලක ගැටී නැවතී ඇති බව ද පොලිසිය කියයි.  අධික වේගයෙන්  පැමිණි මෝටර් රථය ත්‍රිරෝද රථයේ වේගයෙන් ගැටීමත් සමග ත්‍රිරෝද රථය මීටර් 100 ක්  පමණ ඉදිරියට ඇදී ගොස් ඇත.  සිද්ධිය සැලවීමත් සමග අවට පිරිස් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි ත්‍රිරෝද රථ රියැදුරු කොළඹ ජාතික රෝහලට කර ඇති අතර රෝහලට ගෙනයන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තාවේ.


 සිද්ධියෙන් මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචි  ඩ්‍රෑමන් නූර්ඩීන් තුවාල් නමැති 58 හැවිරිදි ත්‍රිරෝද රථ  රියැදුරෙකි. සුඛෝපභෝගී මොටර්  රථයේ ගමන් ගත් කාන්තාවන්  දෙදෙනකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මාධ්‍ය ආයතන සේවය කරන සේවිකාව අනතුර සිදුවන අවස්ථාව වනවිට අධික බීමතින් සිට ඇති අතර, අවට පිරිස් ඇයට ඉදල්වලින් පොලු වලින් පහර දී ඇත.
 අමානුෂික අන්දමින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මේ වනවිට අන්තර්ජාලයේ සංසරණය විය.
එහිදී අතුපත ගාන කම්කරු කාන්තාවක විසින් ඉදලකින්ද, නිල් පැහැති ඩෙනිමකින් සැරසී සිටි තවත් කාන්තාවක අතින්ද පහරදෙන ආකාරය සටහන් විය. මාධ්‍ය සම්බන්ධ කාන්තාවට එමගින් තුවාල සිදුවූ පසු සිදු කළ පැමිණිල්ල අනුව පහරදීම සම්බන්ධයෙන් පවිත්‍රතා සේවයේ නියුතු කාන්තාවන් දෙන්නා පොලිසිය විසින් ඊයේ (11) පෙරවරුවේ අත්අඩංගුවට ගනු  ලැබීය.



 පලාගිය රථයේ රියැදුරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත්, ඔහු උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරමේ නිරත වන්නකු බවට තොරතුරු හෙළිවී ඇති බවත් පොලිසිය පවසයි. සැකකරුට දෙහිවල සහ  වැල්ලම්පිටිය  ප්‍රදේශයේ නිවාස දෙකක් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය එම නිවෙස් දෙකට ගිය ද ඔහු එම නිවෙස්වල සිට නොමැති බව ද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් රථයේ සිටි සෙසු පිරිසගේ ප්‍රකාශ ලබා ගන්නා බව ද පොලිසිය  කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවේ.
නවතම වාර්තාව click here
කොල්ලුපිටිය මරණීය අනතුර සිදුකළ කෝටිපතියා රට පැනලා?


 





 

නවතම වාර්තාව click here
කොල්ලුපිටිය මරණීය අනතුර සිදුකළ කෝටිපතියා රට පැනලා?